Site blog

Anyone in the world

1941 දෙසැම්බර්  28 - සිළුමිණ

ලක්දිව හින්දුස්ථානි සංගීතය

අපේ දුර්වලකම්වලින් ස්වල්පයක්

මිනිසා ගැයීමට පුරුදුව සිටියි. හේ ගයයි. ඉදිරියටත් එසේම වෙයි. කාලය අනුව ඔහුගේ ක්‍රමය වෙනස්විය හැක. වචන වෙනස් වියහැක. රාගය වෙනස්විය හැක.  නමුත් ඔහු ගයයි. සංගීතයක ආරංචියක් ඇසූ පමණින්, සිඟන්නන් රැළක් වැටි වැටී හැපි හැපී දාන පළක් දෙසට හති දමමින් දුවන්නාක්මෙන් මනුෂ්‍යයා ඒ දෙසට දුවයයි. ඒ එසේම විය යුතුය. අප සාගින්නෙන් නොව ඊටත් වඩා විශාල ගින්නකිනි පෙළෙන්නේ. නැතහොත් අප අවට මෙතරම් සංගීතය ඇතිවන්නට හේතුව කිමෙක්ද? සිනමා සංගීතය ගුවන් විදුලි සංගීතය, ශබ්ද වාහිනි සංගීතය, පාඨශාලා සංගීතය, විශ්ව විද්‍යාලයේ සංගීතය, මන්දිරයේ සංගීතය, තේ පැන් සැළෙත් සංගීතය, බස් නැවතුම්පොළෙහි ද සංගීතය, මග දෙපසත් සංගීතය, දියෙත් ගොඩත් අහසෙත් සංගීතය, දස දෙසම සංගීතය !  සංගීතය !! සංගීතය!!! මනුෂ්‍යයා සංගීතයෙන්ම කටයුත්තෙහි නියුක්ත වෙයි. සංගීතයෙනම ඇවිදියි. විශ්‍රාමගනියි. නිදයි. දැන් මඳක් විමසා බලමු මනුෂ්‍යයා මෙබඳු ඇල්මක් දක්වන ඔහුට ඉතාමත් අවශ්‍යවන මෙබඳු සංගීතය මඳක් නගා සිටුවීමට අප කුමක් කර තිබේද කියා.

රට් සංගීත ප්‍රබොධය

පසුගිය ස්වල්ප කාලය තුළ සංගීත තරඟ, සංගීත ප්‍රදර්ශන, නාට්‍ය ආදිය ඉතා සැලකිල්ලෙන් පැවැත්වුණු බව අපට මතකය. එමෙන්ම සංගීත පංතිද හතු පිපෙන්නාක් මෙන් ත්‍රි සිංහලය පුරා පැතිර ගිය බවද නොරහසෙකි.
රවිකිංඤයක් හෝ දැල් රුබාවක් හෝ තබ්ලාවක් හෝ නැති ගුරුවරයකු හෝ ගුරුවරියක සොයා ගැනීම ඉතා අපහසු කටයුත්තෙක් විය. ඇතැම් තැනෙක අර 'කන්දොස්කිරියාවේ' ( සර්පිනාවේ ) 'ගෝට්ටිය ද' තිස් පැයේම අසන්නට ලැබිණ. අදත් ඇසෙයි, ලංකා ගාන්ධර්ව සභාව මඟින් පෙරදිග සංගීතය නඟා සිට වීමට ඇරඹුනු ව්‍යාපාරය අද වනතුරු ද ඉතා වැදගත් තත්වයෙක පැවතෙන බව නොරහසෙකි.සංගීතාචාර්යය ඇම්.ජි. පෙරේරා මහතා තමාගේ විශාරද දැනීම නිර්ලෝභීව ශිෂ්‍යයනට දීම නිසා පෙරදිග සංගීතය පිළිබඳව සෑහෙන අවබෝධයක් ගුරු පක්ෂය අතර ඇති බව පෙනෙයි. මග්ගොණ අභ්‍යාස විද්‍යාලයෙහි සංගීතය උගන් වන සමරපාල මහතා ද ශාස්ත්‍රය අතින් හොඳ අවබෝධයක් ඇත්තකු බව දනිමු. මෙබඳු සංගීතාචාර්යයවරයන් නිසා අද සංගීතය පිළිබඳව හොඳ අවබෝධයක් පක්ෂයන් අතර ඇතිවන අතරම මාස ගණනකින් සංගීත ඥානය ලැබූ ස්වර, ඥානය, තාල ඥානය, රාග ඥානය, පිළිබඳව කිසිත් හැඟීමක් නැති සංගීතකරුවන් නිසා ඇතැම් පක්ෂයක් නොමඟ ගොස් තිබෙන බව දැකීම කණගාටුවෙකි. හුදෙක් උදර පොෂණය තකා ශබ්ද වාහිනි තැටියෙක වූ ගීයක් හෝ සිනමා සින්දුවක් හෝ බයිලාවක් හෝ වාදනයට උගැන් වීම ඔවුන්ගේ පංතිවල වැඩ සීමාවය. මෙබඳු ආචාර්යවරයන් අද ගමකින් දුසිම් ගණනින් එකතු කර ගත හැකි බව නොරහසකි.

මෙය විසිවෙනි ශත වර්ෂයය, ලොකය සෑම දෙයකින්ම දියුණුය. එහෙත් අපගේ දුර්වලකම් බොහෝය. දුර්වලකම් පහසුවෙන් හරිගස්සා ගැනීමට මාර්ගය අතළඟම තිබියදී නිදා සිටීම කවර දුර්වලකමෙක්ද? අද ලංකාවේ, පෙරදිග සංගීතය පිළිබඳව මුද්‍රණය වී ඇති ඉතා අගනා පොත් පංතිය පෙරේරා මහතාගේය. ගීත ශික්ෂකය තෘතීය භාගය වැනි පොතක් අපට තවත් බලාපොරොත්තු විය හැකියයි කිය නොහැකිය. පිටු 450 පමණ වූ මෙම විශාල ග්‍රන්ථය ඇති බවවත් ලාංකිකයෝ දනිත්දැයි නොදනිමු. උගතකුගෙන් උවදෙස් ගැනීමට ඇතැම්හු මැලි වෙත්. වැරදි හෝ නිවැරදි හෝ තමන් දත් දෙයම පමණැයි සිතීම යුතුද?

සංගීතයෙහි සීමාව

මංසන්ධියක විකිණෙන කවි කොළයක යමෙකුට කියවා තේරුම් ගැනීමට පාසැලකට ගොස් හත අටට ඉගෙනීම වුවමනා නැත. ශිෂ්‍යයාට උසස් රස විඳීම සඳහා මඟ පුදාදිමය ඉහළ පංතිවල සාහිත්‍යයෙන් අදහස් කෙරෙන්නෙ. මේ නීතිය සංගීතය සම්බන්ධයෙන්ද මෙසේමය. භාරතීය සංගීතඥයින්ගේ දැනීම බොහෝ විට අවුරුදු තිහක හතළිහක පළපුරුද්දෙන් ලද වුවද ඔවුන්ගේ දැනීම ශාස්ත්‍රයෙහි තත්වය හා සැසඳූ කල ඉතා අල්පබව ඔවුහුම කියත්. එහෙත් බොහෝ ලාංකිකයන්ගේ කල්පනාව මීට හාත්පසින්ම වෙනස්. යමකු අවුරුදු තුනක් හතරක්වත් සංගීතය ඉගෙනීම සඳහා හින්දුස්ථානයෙහි ගත කළහොත් ඔවුන්ගේ ප්‍රශ්නය වනුයේ  'ඔතරම්' හැදෑරීමට සංගීතයෙහි කුමක්ද ඇත්තේ' යනුයි. ගීයක් ගැයිමට හෝ වැයීමට හැකි නම් ඒ සංගීතයෙහි සීමාවයයි සමහරකුගේ කල්පනාවය. ඇතැමෙක් සප්ත ස්වරය සංගීත යයි සිතත් නැත ඒ එසේ නොවේ භාට්ඬණ්ඩේ සංගීත විද්‍යාලයෙහි දිනපතා ඉගෙනීම ලබා වුවද සංගීතය පිළිබඳව හැඟීමක් දෙනුයේ අවුරුදු පසකිනි. ඉන්පසු තමන්ගේ උත්සාහයෙන් එය දියුණු කරගත යුතුයි.

ලොකු හානියක්

කිසියම් රාගයකට අයත් ගීයක් ඉගෙනීමට ආශාවක් බොහෝ ලාංකිකයන් අතර දැනට වෙයි.මේ අවස්ථාවෙන්
ප්‍රයෝජන ගැනීමට ඇතැම් පක්ෂයක් අදහස් කළ බව පෙනීයයි. ඒ මෙසේය. ශබ්ද වාහිනි තැටිවල ගීතයන් ප්‍රස්තාර කොට එක එක ගීතයට කිසියම් රාගයක නමක් දී පොතක් වශයෙන් පළකිරීමයි. මේ මුදල් උපයීමේ බලාපොරොත්තුවෙන සිදුවනුයේ ලොකු හානියෙකි. සංගීත රසිකයන් තුළ රාගයන් පිළිබඳව වැරදි හැඟීම හෝ පටලැවිලි සහිත හැඟීමක් හෝ එසේත් නැත්නම් හින්දුස්තානි සංගීතය කිසිම ක්‍රමයකට නීතියකට අනුව නොගිය ශාස්ත්‍රයක්ය යන හැඟීම හෝ ඇතිවනවාට අනුමාන නැත.

පෙරදිග සංගීතයෙහිවිශෙෂත්වය

තවද ලක්දිව දැනට වසංගතයක් මෙන් පවතින සංගීතයෙ. එනම්, කිසියම් ස්වර සමූහයකින් ගොතාගත් ගීතයක් හෝ අපරදිග සංගීතය හා මිශ්‍ර වුවක් හෝ රසකරමින් ගැයීමට පුරුදුව සිටීමයි. පෙරදිග සංගීතයත් අපරදිග සංගීතයත් මිශ්‍ර කිරීම එළ හරකාට මී හරකා ඈඳීම වැන්නෙකි. මන්ද මේ සංගීත ද්විත්වයෙහි ලොකු වෙනසෙකි. පෙරදිග සංගීතයට විශෙෂ වනුයේ රාග (Melody) ක්‍රමයය. නමුත් අපරදිග සංගීතයෙහි ස්වර සම්මිශ්‍රණය (Harmony) ප්‍රධාන ලක්ෂණය වෙයි. පිරිසුදු රාගයෙන් ගායනය කර නා රාගයෙන් නීති අනුගමනය කිරීමට බැඳී සිටියි. එම නීති කඩ කළ හොත් එහි පිරිසුදු රාගයෙක් නොවෙයි. ඉතා සුළු වෙනසෙන් පවා රාගය වෙනස් වෙයි පූර්ව රාගය ගායනයේදී ස රි ග ම / ප ධ නි ස යන ස්වරයන් භාවිත වෙයි. එහෙත් ශුද්ධ මධ්‍යමයද ක්‍රමානුකූලව යෙදීම අමතක කළහොත් අන් රාගයක් එනම් පුරියාධනාශ්‍රී රාගය ප්‍රකාශ විය හැකිය එසේන් නැතහොත් එබඳු අන් රාගයක් ප්‍රකාශ විය හැක. ශුද්ධ මධ්‍යමය (කෝමළ 'ම') භාවිත වුවද පූර්වි රාගයේදී එය භාවිත කළ යුත්තේ කෙසේ දැයි හරිහැටි නොදැන අන් ක්‍රමයකට යෙදුවහොත් එයින් ද අන් රාගයක් එනම් පරශු රාගය හෝ අන් රාගයක් ප්‍රකාශ විය හැක එසේම භූපාලි රාගය සඳහා ගැනෙනුයේ ස රි ග ප ධ ස යන ස්වරය දේශ්කාර් රාගයටද ගැනෙනුයේ මේ ස්වරමය. මේ රාග දෙකේ වෙනස ඇතිවනුයේ වාදී ස්වර වලිනි. භූපාලි රාගයෙහි වාදි ස්වරය ගාන්ධාරය ද, දේශ්කාර්හි ධෛවතයට වෙයි. තවද, සප්තකයකට ප්‍රකෘති විකෘති ස්වර දොළොසෙකි. අපරදිග සංගීතය මේ ස්වර දොළොස අනුගමනය කිරීමට බැඳී තිබෙන නමුත් හින්දුස්ථානි සංගීතය එයට බැඳී නැත. ඇතැම් රාගයක් ගායනයේදී මේ ස්වර දොළොසටම අයත් නොවූ ස්වරයක් ගායනය කිරීමට ගායකයා බැඳි සිටියි. උදාහරණයක් වශයෙන් ශ්‍රී රාගය ගායනයේදී ශුද්ධ ගානධාරය හෝ කෝමළ ගාන්ධාරය හෝ නොව මේ ස්වර දෙක අතර ගාන්ධාරයක් ගැනීම ඒ රාගයේ නීතියය. සර්පිනාවෙහි මේ ස්වර නැත. ඒ භාණ්ඩය පෙරදිග සංගීතයට නොගැලපෙන එක් ප්‍රධාන හේතුවෙකි මේ. හින්දුස්ථානි සංගීතයෙහි ප්‍රධාන වනුයේ සාහිත්‍ය රසය නොව ස්වර රසයයි. එබැවිනි රාග ආලාපනය මෙහි ප්‍රධාන ලක්ෂණය වනුයේ ගායකයා තමාගේ දක්ෂකම් සියල්ල ප්‍රකාශ කරන්නේ ස්වරයන් මගිනි.

තොටිල්ලෙහි නැලවෙන තාලය

ගීතය තාලයක් ආශ්‍රය කෙරෙයි. ගායනය කරණ අතර තාලය හරියාකාර අනුගමනය කිරීම ඉතා අපහසු කරුණෙකි. අභ්‍යාසයෙන්ම ඒ පිළිබඳ පළපුරුද්ද ඇති කරගත යුතුය. ලාංකිකයන් බෝහෝ විට ආශ්‍රය කෙරෙනුයේ තාල දෙකෙකි. එනම් කහර්බා (ධ යි න ති, න ක යිං -) හා දාදරා (ධා ධී නා, නා තී නා) ය. තාලය පිළිබඳ පුහුණුවක් නැත්තකුට වුවද මේ තාලද්වය පහසුවෙන් අනුගමනය කළ හැක තොටිල්ලෙහි නැලවෙන බිළිඳා පිණවීමට මවගේ දෑත තැලෙනුයේද මේ තාල වලටය. ඉතින් අපේ තාලය සංගීතයත් සමඟ මේ තොටිල්ලෙන් ස්වල්පයක් දුරට පා නගනුයේ කවරදාද සදාකාලයටම තොල්ලෙහි හිඳීම ස්වභාව ධර්මයෙක්ද? මුණින් දැමීමත් දණ බඩ ගෑමත් අල්ලා සිටීමත් ක්‍රමයෙන් පසුකොට ඇවිදීමට උත්සාහ කරමු.

ස්වර ඥානය, තාල ඥානය, රාග ඥානය නැති තැන සංගීතයක් නැත. එබැවින් එය පුහුණු කළ යුතුය. පළමුව ස්වරඥානයද තාල ඥානයද හොඳින් පුහුණු කළ යුතුය ඒ පුහුණු කළ යුතු ක්‍රමය අපගේ
මින් පෙර ලිපියෙන් ප්‍රකාශ විය.

ලක්නව්හි භාට්ඛණ්ඩේ සංගීත විද්‍යාලයෙහි
සුනිල් ශාන්ත විසිනි

Tags:
 
Anyone in the world

සිළුමිණ වර්ෂ 1941 ක්වූ පෙබරවාරි මස 2 වෙනි ඉරිදා

පාඨශාලාවල සංගීතය ඉගැන්වීම ගුරුවරුන් විසින් සැළකිය යුත්තක්

ලක්දිව සංගීතය අති පුරාණයේසිටම පැවති බැව් සැළකිය යුතුය.සිරිවස්තු පුර උත්සවයක් ගැන සඳහන්වීම නිසා විජයාගමන සමයෙහි සංගීතය දියුණු තත්ත්වයෙක තිලෙන්නට ඇති බැව් කිව හැක. දෙවන පෑතිස් සමයෙහිද සංගීතය දියුණුව තිබුණ බැව් 'දිව්‍ය ගාන්ධර්වයන් වැනි - මනහර අනුරාධපුර නම් ඒ රාජධානිය' යන වාක්‍යය බැලීමෙන් සිතීමට අවකාශ තිබේ. (සධර්මා ලංකාරය) 'රෝද බෙර; කැරඩි බෙර, - පටසිරි මේවා ඇතුළු නොයෙක් දහස් ගණන් තූර්ය භාණ්ඩ වයමින් මහ සෙනඟ පිරිවරා කසට පිටියෙන් නික්ම මියුගුණු ගොස් එහි කසුන් දාගැබක් කරවීය' (ථුපවංස) යන්නෙන් දුටුගැමුණු රජුකල සංගීතයෙහි තත්ත්වය වටහා ගතහක. 'මහ පැරකුම්බා මිහිපල්හු පුලස්ති පුරයෙහි සරස්වති මණ්ඩපය කොට කුලවත් දරුවනට සංගීතය උගැන්වූහ. ඒ රජතුමාගේ ශ්‍රද්ධාශිලාදි ගුණොපෙත රූප සම්පන්න රූපවතී නම් මෙහෙසියද නැටීමෙහි හා ගී කීමෙහි දක්ෂ වුවාය'(මහාවංශ) ද්විතීය මහා පරාක්‍රමබාහු මහීපාලයන් සංගීත ශාස්ත්‍රයෙහි හසළ බුද්ධිමතකු බව දඹදෙණි අස්නෙහි පෙනෙන 'නැං බඹර කලිකාල සංගීත සාහිත්‍ය සර්වඥ පණ්ඩිත පරාක්‍රමබාහු' යන විරුදාවලියෙන් හැඟේ. කුරුණෑගල රජ පැමිණි හතරවැනි පරාක්‍රමබාහු රජතුමාගේ ආරාධනයෙන් රචිත දළදා සිරිතෙහි දැක්වෙන ව්‍යවස්ථා අටතිසෙන් පස්වැන්නෙහි 'මේ වඩා ගෙනෙන කල අහස්වියන් පංතාප්පයි මුක වඩම් සක් පංචවඩ්ඩාවරු දළහං කාහල ඈ ධුරය හා උත්සව දිනයෙක සේසත් හා මහ ධුරය ඇතිව ගෙනෙනුව ඉසා' යනුවෙන් බුද්ධ පූජාව ගෙනෙනවිට සංගීතයද පැවැත්විය යුතු බවත්, නියම කොට ඒ සඳහා ගතයුතු තුර්යය භාණ්ඩද නම්කොට තිබේ. හවෙනි ශ්‍රී පරාක්‍රමබාහු රජු සංගීතඥයෙකි. ඔහු රන්දාරා නම් සුසිරය පිඹීමෙහි සමතකු බැව් කියා තිබේ. (කෝකිල සංදෙශය) මේ සියල්ලෙන් වැටහෙනුයේ පුරාණයෙහි අප සිරිලක තුළ සංගීතය ඉතා උසස් ස්ථානයක තුබුණ බවය.

සංගීතය නොතකන්ටවීම

අවාසනාවකට මෙන් සිංහල දෙමව්පියන් විසින් තම දරුවනට සංගීතයට අත් ගැසීමට අවකාශ නුදුන් කාලයෙක්ද විය. එහි අඩු පාඩුව දැන් දැන් හොඳාකාර පෙනේ. ඉෂ්ට දේවතා පූජනය යුද්ධ සේනා නියෝජනය, රාජාභිෂෙකය, විවාහ මංගලය, ගෘහ  ‌ප්‍රවෙශනිය ආදී  සෑම වැදගත් අවස්ථාවකටම අත්‍යාවශ්‍ය වන උතුම් සංගීතය, ආගම හා නිත්‍ය සම්බන්ධයක් පවතින හෙයින් ශුද්ධ වූ විද්‍යාවක් ලෙස සැලකෙන සංගීතය, හැදෑරීමට එවකට දෙමව්පියන්ගෙන් දරුවන්ට තහනමක් ඇතිවීමට හේතු ඇති විය. සෑම දෙයක්ම, නරකට හරවාගත් විට එය ඉතා භයානකය. පෙරදිගසංගීතයටද කලකට පෙර මෙයම සිදුවී තිබුණි. එහෙත් මෑතදී වැදගත් පක්ෂය එයට අතගැසීම නිසා නියම වශයෙන් පෙරදිග සංගීතය යනු කුමක්දැයි ලාංකිකයනට අවබෝධ වන්නට පටන්ගෙන තිබේ. පාඨශාලාචාර්යවරයන් මේ ගැන ඉතා උනන්දුවෙන් කටයුතු කරන බැව් දැකීම ශාන්තියෙකි. සාමාන්‍ය සනයාද මේ සම්බන්ධයෙන් ලොකු උනන්දුවක් දක්වන නමුත් තවම ඔවුන්ට අධ්‍යයනය කිරීමට ක්‍රමයක් නැතිවීම ලොකු අඩුපාඩුවකි. ඔවුනට අවකාශයක් ඉදිරියට පැමිණෙනතුරු පාඨශාලාචාර්යවරයන් සුලු වශයෙන් හෝ මේ කාරණය තම පාඨශාලාවල ඉගැන්වීම ආරම්භ කිරීම ඉතා සොග්‍යයි.

අධ්‍යයන පරිපාටියෙහි සංගීතය යනුවෙන් පාඩමක් ඇති නමුත් එම පාඩම කාලසටහනට ඇතුළත්ව ඇති බවක් දක්නට නැත. බාලාංශ පංතියේදී පමණක් ශිෂ්‍යයන් සින්දුවක් කීමට පුහුණුවන නමුත් ඉන්පසු පංතිවලදී එය සම්පූර්ණයෙන් අත්හිටවන බව පෙනී යයි. පාඨශාලාව තුළ කෙරෙන වැඩවලින් ශිෂ්‍යයන් ඉතා ඇලුම් දක්වන්නේ සංගීත පාඩමටය. අවශේෂ පාඩම් ගැන්වීමේදී ශිෂ්‍යයන්ගේ ඇල්ම, ප්‍රීතිය, අවධානය, විනය ආදිය පවත්වා ගැනීමට ගුරුවරයා විසින් දිනපතා තමාගේ ඉගැන්නුම් ක්‍රම වෙනස් කළ යුතුය. එහෙත් සංගීත පාඩමේදී එය නොඑස්ය. පාඨ ශාලාවේ ඉගැන්වෙන සංගීත පාඩමේදී ගායනයට මුල් ස්ථානය දිය යුතුය. තූර්ය භාණ්ඩ සැපයීමේ අපහසුව නිසා ද විනාඩි 45 කාල යත් ප්‍රමාණවත් නොවන නිසාද වාදනය උගැන්මට අපහසු වන්නට පිළිවන.


ස්වර ඥානය

නියම ගායකයකු හෝ වාදිකයකු වීමට නියම ස්වර ඥානයක් ඇති කරගත යුතුය. ස්වර ඥානයක් හෙවත් ස්වර හැඳින ගැනීමේ නියම දැනගැනීමක් ඇතිකර ගැන්මට ස්වරොච්චාරණය සර්වප්‍රකාර යෙන්ම අවශ්‍යවේ. එබැවින් ඒ සුදුසු පරිදි පරුදු පුහුණු කටයුතුය. කුඩා කාලයේ සිටම ශිෂ්‍යයන්ට ස්වර පුහුණුව ආරම්භ කළ යුතුය. මේ කාරණය දෙවෙනි පංතියේ සිටම පටන්ගැන්ම යහපති. පංතියට යාමට පෙර ගුරුවරයා ඉගැන්වීමට තිබෙන ස්වරයෙන් ඉතා හොඳින් පුහුණු විය යුතුය. මන්ද ස්වර ගායනයේදී වැරදි සොයා ඒ හරිගැස්සීම ඉතා අපහසුකාරණයක් බැවිනි. ගුරුවරයා ශිෂ්‍යයන් සමඟ ගායනය කළ යුතුය. එසේ නැතිව තූර්යය භාණ්ඩයක් වාදනය කර ඒ අනුව ගයන්නටය කියා ශිෂ්‍යයාට නියම කිරීමෙන් කාරණය ඉටු නොවෙයි. වැරදි හරි ගැස්සීමෙක්ද ඇති නොවෙයි. වැරදි හරිගැසීම ඉතාම වැදගත් කාරණයයි. ස්වර ගායනයට පෙර නිසි පරිදි ආශ්වාස ප්‍රශ්වාස කිරීමට ශිෂ්‍යයාට මග පෙන්වා දිය යුතුය.

දැනට 'සර්පිනා' හෙවත් 'හර්මෝනියම්' නමින් බොහෝ තැන් වල දක්නට ලැබෙන තූර්ය භාණ්ඩය පංතිය අසලකටවත් නොගත යුතුය. එය පෙරදිග සමිතියට සම්පුර්ණ විරුද්ධ තූර්යය භාණ්ඩයෙකි. ගායනය උගැන්වීමේදී 'තාම්පුරා'නම් තුර්ය භාණ්ඩයක් පංතියේ පාවිච්චි කිරීම අත්‍යාවශ්‍යකය. එය ගායකයාට 'ස' 'ප' ස්වරයෝ සෑම විටම මතක්කර දෙයි. පළමුවෙනි ශිෂ්‍යයනට ශුද්ධ නුවර සත ආරොහණ අවරෝහණ වශයෙන් ගැසීම උගැන්විය යුතුය. ඉන්පසු ස, රි, ශ, ම, රි, ග, ම, ප, ආදි වශයෙන් වූ ස්වරාලංකාර පුහුණුව ආරම්භ කළ යුතුය. ශිෂ්‍යයන් ගායනය කෙරෙන සෑම ස්වරාලංකාරයන්, කට හැර 'අ' ශබ්දයෙන් කීමටද පුළුවන්කම ඇති කළ යුතුය. දෙවෙනි, තුන්වෙනි, සතරවෙනි පංතිවලට මේ ක්‍රමය යෙදිය හැකි වෙයි. එහෙත් පංතියේ උසස්කමේ සැටියට ස්වරා ලංකාරයෙන් අමාරු විය යුතු, පෙරදිග සංගීතය ලකට හඳුන්වා දීමෙන් මහඟු සේවයක් කෙරෙන සංගීතාචාර්යය ඇම් ඒ පෙරේරා මහතාගේ පුස්තකයන්හි මෙකී දෑ අන්තර්ගත හෙයින් ඒ පිළිබඳව අපහසුවක් ඇති නොවෙයි.

සතර වැනි පංතිය අන්තිමයේදී පමණ ශුද්ධ ස්වර පිළිබඳව මනාදැනීමක් ශිෂ්‍යයන් තුළ ඇති කිරීමට ගුරුවරයාට අපහසුවෙක් ඇති නොවෙයි. යටත් පිරි සෙයින් සප්තක දෙකක ස්වර අපහසුවක් නැතිව ගායනයට ශිෂ්‍යයනට දක්ෂකම ලබාදිය යුතුය. පස්වැනි පංතියේදී මීට වඩා උසස් පාඩම් ඉදිරිපත් කළ හැක. 'ස' ස්වරය දුන්විට ගුරුවරයා නියම කරන ස්වරයක් එකවරට ගායනය කිරීම, 'ස' ස්වරය දී ගුරුවරයා 'අ' ශබ්දයෙන් දෙන අන් ස්වරයෙහි නම සඳහන් කිරීම ආදි දක්ෂකම් මේ කාලයේදී ශිෂ්‍යයා තුළ ඇති කළ යුතුය. එවිට ශුද්ධ ස්වර ආශ්‍රයෙන් පිළියෙළ වූ ප්‍රස්තාරයන් බලා ගැයීමට ශිෂ්‍යයාට දක්ෂකමක් ඇති වේ. මුර්ව්ජණ සහ තාන පිළිබඳ ස්වර මාලාද නිසි පරිදි උච්චාරණය කිරීමත් ස්වර ඥානය ලබා ගැනීමේ සුදුසු මාර්ගයෙකි.


වැරදි හරිගැස්සීම

ගායනයේදී ශිෂ්‍යයන් කෙරෙන වැරදි හොඳින් බලා හරිගැස්සීම ගුරුවරයාගේ වැදගත් කාර්යයෙකි. පහත දැක්වෙනුයේ බොහෝ විට දක්නට ලැබෙන දොෂයෝයි. එනම් :- ගායනයේ දී දත් තදකර ගැනීම, ශබ්ද නගා කෑගැසීම, ශබ්ද නගා ආශ්වාස ප්‍රශ්වාස කිරීම, අප්‍රාණිකවවීම, නුවුවමනා පරිදි ඉක්මනින් ගැයීම, වචන හා ශබ්දය සෙලවීම, බොහෝ කොට කට හැරීම, තාලය නැතිවීම, බෙල්ල දිඟු කිරීම හෝ පැත්තට බැලීම අත්පා චංචල කිරීම, ඇස් වස, ගැනීම, නාසයෙන් කීම ආදියයි. මෙකී දොෂයන් ගැන ගුරුමරයා පරික්ෂා විය යුතුය. ශරීරය කෙළින් තබා බිම වාඩිව ගැසීමට ශිෂ්‍යනට පුහුණු කළ යුතුය.

ශිෂ්‍යයෝ පශ්චාත් ප්‍රාථමික පංති වලදී වඩා අමාරු ස්වර ගායනයට සමත් වෙති. ඒ අවස්ථාගයේදී හින්දුස්ථානි සංගීතමයෙහි පාඨ දශයට අයත් ස්වරයන් පිළිබඳ අවබෝධයක් ඇති කිරීමට ආරම්භ කිරීම යෝග්‍යයි. තිලාවල්, යමන්,ඛමාජ්,භෛරව, පූර්වි, කාඵි, ආශාවරි සහ භෛරවී යන ටාඨයන්ට, අයත් ස්වරයන් පිලිබඳ හොඳ අවබෝධයක් ශිෂ්‍යයන් තුළ මේ පංති වලදී ඇති කිරීම කළ හැකි වෙයි. මාර්වා සහ තෝඩි යන ටාඨ දෙක අපහසු
හෙයින්, හැකි වුවහොත් ඒ පිළිබඳ අවබෝධයක් ඇති කිරීමට පසුවට කළ යුතුය. මේ ශිෂ්‍යයන් ඉගෙනගන්නා එක එක ටාඨහි රාගයට අයත් ගීතය බැගින්ද ඉගැන්වීම යෝග්‍ය වෙයි. ශුද්ධ ස්වර පමණක් ගායනය කරමින් සිට පශ්වාත් ප්‍රාථමික පංතිවලට පැමිණීමෙන් පසු යොමළ තිවු ස්වරයන්ට අත ගැසූ ශිෂ්‍යයා බොහෝ ටැරදි කරනවා ඇත. ගුරුවරයා ඒ ගැන පරික්ෂාකාරී විය යුතු.

පශ්චාත් ප්‍රාථමික පංතිවලදි ආරම්භ කළ යුතු තවත් වැදගත් කාරණයක් නම් තාල පුහුණුවය. ශිෂ්‍යයන් කලින් ඉගෙනයත්, හොඳින් ගායනය කළ හැකි, කුඩා ත්‍රිතාල් ගීතයක් ගායනය කිරීමට නියම කළ යුතුය. පළමුවෙන් ගීතය ගායනය කරන අතර මාත්‍රා එකින් එකට ශබ්දයක් කිරීමට ශිෂ්‍යයන්ට නියම කළ යුතුය. මේ ශබ්දය අතින් අතට ගැසීමෙන් කළහැකිය.මෙය සෑහෙනතරම් දුරට පුහුණුවූ පසු ත්‍රිතාල් යනුකුමකදැයි ශිෂ්‍යයන්ට විස්තරකර දිය යුතුය. එහි මාත්‍රා දහසයක් තිබෙන බවත්, කාල තුනක් තිබෙන බවත්, තාලය පටන් ගන්නා ස්ථානය 'සම්' නමින් හැඳින්වෙන බවත්, නම වැනි මාත්‍රාව ' ඛලි' නමින් හැඳින් වෙන බවත්, පස්වැනි දසතුන් වැනි මාත්‍රාවන් අනුතාල් නමින් හැඳින්වෙන බවත්, පැහැදිලි කර දිය යුතුය. තාලයේ පළමුවැනි, පස්වැනි, දසතුන්වැනි මාත්‍රා වලදි අතින් අතට ගැසීමෙන් ශබ්ද කිරීමටත් 'ඛලි' හෙවත් නමවැනි මාත්‍රාවේදී ශබ්දයක් නොකිරීමටත්, 1,5,9,13 මාත්‍රාවත් හැර අවශෙෂ මාත්‍රාවන් නියමිත අවස්ථාවේදී ඇඟිලිවලින් ගණන් ගැනීමටත් නියම කළ යුතුය. මෙය මුලින් අවස්ථාවේ ශිෂ්‍යයනට  අපහසු සේ පෙනෙන්නට පිළිවන. එහෙත් නොකඩවා කිරීමෙන් එය පුරුද්දට හරවා ගත හැක.

ශිෂ්‍යයන්ගේ පාඨශාලා ජිවිත යේදී මේ කොටස ඉගැන්වීම කළ හොත් ඔවුන්ගේ සංගීතය පිළිබඳ අත්තිවාරම මැටුනා වෙයි. මින් පසු ශිෂ්‍යයනට ඒ ඒ ටාඪයනට අයත් අවශෙෂ රාගයන් පිළිබඳව ඉගෙනීම කළ හැක. ගුරුවරයා මේ කොටස පාඨශාලාවෙදී ශිෂ්‍යයාට ලබා දුනහොත් ලංකාවෙහි පහන් අඩියක පවත්නා පෙරදිග සංගීතය නඟා සිටුවීමට වහලක් වෙනවා ඇත.

ලක්නව්හි භාට් ඛණ්ඩේ
සංගීත විද්‍යාලයෙහි
-සුනිල් ශාන්ත විසිනි-
Modified: Saturday, 20 December 2025, 10:46 PM
Tags:
 
Anyone in the world

සිළුමිණ වෂර්‍ 1955 ක් වූ ජුනි මස 5 වෙනි ඉරිදා.

කලාකලඹ

බයිසිකලෙන් හා දුම්රියෙන් ගී ගලා එන හැටි ඔබ දන්නෙහිද? ගීත ප්‍රබන්ධකයකු වශයෙන් අරිසෙන් අහුබුදුගේ අතීතය ගැන සොයද්දි බයිසිකලෙන් හා දුම්රියෙන් ගී ගලාඑන අන්දම ගැන රසකතා මතු වන්නේය.

බයිසිකලයෙන් ගීත ගලයි


අපේ ගීත ප්‍රබන්‍ධකයෝ


අද අප ඔබට හඳුන්වන ගීත ප්‍රබන්ධකයා ගීත ප්‍රබන්ධ කිරීමට ආධාර කොට ගන්නේ බයිසිකලය හා දුම්රියයි. මිනිස් වාසයෙන් තොර හුදකලා තැනකට වී පැය ගණන් කල්පනා කරමින් අදහස් ගැට ගැසීමෙන් මේ ගීත ප්‍රබන්ධකයා ගීත ප්‍රබන්ධ නොකරයි.

අරිසෙන් අහුබුදු සංගීතය ගැනද දැනුමක් ඇත්තෙකි. වයලීනය වාදනය වාදනය කිරීමට මොහු දක්වන්නේ විශෙෂ දක්ෂතාවයෙකි. සුනිල් සාන්තගෙන් මොහු ලත් ලිපියක්යක් නිසා ගීත ප්‍රබන්ධයට ඔහුගේ සිත ඇදී ගියේද?

" දේශීය සිංහල සංගීතයක් ගොඩනැංවිය යුතුය. ඒ සඳහා ගතයුතු මග කුමක්ද අපේ පැරණි ගම්බද ගී තාල වලට නූතන ස්වරූපයක් ගන්වා ඒ අනුව ගීත ප්‍රබන්ධ කිරීමෙන් සිංහල යයි කිය හැකි සංගීතයක් ගොඩනැංවිය හැකිද? එසේ නම් මට ගීත කීපයක් ප්‍රබන්ධ කොට එවන්න.

සුනිල් අරිසෙන්ට යැවූ ලිපියේ සඳහන් වූයේ යට දැක්වුන අදහසයි. අරිසෙන්ද සුනිල් ගේ ලිපියේ වූ පරිදි 'පියුමෝ' නමැති ගීතය ප්‍රබන්ධ කොට යැවීය. සුනිල් එය ගායනා කළේය. 'පියුමො' හිතුවාටත් වඩා අතිශයින් ජනප්‍රිය විය. අනතුරුව සුනිල් සාන්තට අරිසෙන් දිගටම ගී ප්‍රබන්ධ කෙළේය.

මේ ප්‍රබන්ධකයාගේ සෑම ගීතයක්ම බයිසිකලේ යද්දී හෝ දුම්රියේ ගමන් කරද්දී හෝ ප්‍රබන්ධ කරන ලද්දකි. පාසැල් හමාර වී ගෙදර යන ගමන් අතර මගදී ඔහුගේ බැලීමට ලක්වන දේ ඔහු ගිතයට නගයි. මොහුට ගී
ප්‍රබන්ධ කිරීම සඳහා සහාය වන පාළු තැනක පිහිටි බෝක්කුවක්ද ඇත. යන එන ගමන් මේ බෝක්කුව මත වාඩි වූ විට ඔහුට ගීතයක් දෙකක් ඉතා සුළු වේලාවකදී ප්‍රබන්ධ කළ හැක.


මේ ගීත සංඛ්‍යාවෙන් 25ක් පමණ ඉතා ජනප්‍රිය වූ ඒවාය.

ප්‍රේමය මුල් කර ගෙන ගී ප්‍රබන්ධය කිරීමට මේ ප්‍රබන්ධකයා එතරම් ආශාවක් හෝ උනන්දුවක් නොදක්වයි. ආලය මුල් කරගෙන මොහු විසින් රචනා කොට ඇත්තේ එකම එක ගීතයක් පමණි. එයද තැටිගතකොට නැත්තේ ය.

මේ ගීතය වුවද ප්‍රබන්ධය කිරීමට ඔහුට උසිගැන්වූයේ සිය බිරිඳ කෙරෙහි පවත්නා ප්‍රේමය පිළිබඳ සිය සිතෙහි නැග ආ සත්‍ය හැඟීමය.

සොබා දහම හා පොදු ජනයා පිළිබඳ සිද්ධීන් අරිසෙන් අහුබුදුගේ ගීත වලට ස්තූති වන්නේය.විදෙශයන්ගෙන් කොපි කරගනු ලබන තනු වලට වචන රිංගවීම මොහු තදින්ම අප්‍රිය කරයි. දේශීය සංගීතයක් ගොඩ නැගීමට නම් අපටම ආවේනික වූ තනු අනුව ප්‍රබන්ධ කරන ලද ගීත අවශ්‍යය.

සුනිල් සාන්තට තමා ඉතා ආශාවෙන් ගීත ප්‍රබන්ධකර දීමෙන් සහාය වූයේ සුනිල් දේශීය සංගීතයක්ගො ඩනැංවීමේ අදහසින් ඒ දෙසට ගමන් කළ නිසාය. එහෙත් සුනිල්ට සිය ගමනේදී බොහෝ දුෂ්කරතාවයනට මුහුණ පෑමට සිදු විය. ඒ නිසාම සිය අදහස් අත් හැර දැමිය යුතු නොවේ යයි අරිසෙන් අහුබුදු පවසයි.

Tags:
 
Anyone in the world

සංගීතමය වැඩ සටහන්

දැන් දැන් ගුවන් විදුලියේ සංගීතමය වැඩ සටහන් ප්‍රචාරයේදී බොහෝ විට ඩබ්ලිව්.ඩී.අමරදේව, ස්වර්ණ ද සිල්වා, ඉන්ද්‍රානි විජය බණ්ඩාර යන අයට ගුවන් විදුලියේ විෂේශ තැන් හිමි වී තිබෙන බව ටික දිනක සිට පෙනී යන කරුණෙකි. පසුගිය දින කිහිපය තුළ පමණක් අමරදේවගේ ගායනා, මාසික රැඟුම, වෙසක් ගීතමය වැඩ සටහන්, ඇතුළු තවත් අවස්ථාවන්හිදී අසන්නට ලැබිණ. එවැනි වැඩ සටහන්වලදී ස්වර්ණා ද සිල්වා, ඉන්ද්‍රානි විජය බණ්ඩාර සහාය ගායනවලට සහභාගි වූ වාර එමටය.

මෙවැනි කරුණු වලදී පෙනී යනුයේ ගුවන් විදුලිය එක්තරා පක්ෂයකට විශේෂ සැලකිලි දක්වන බවයි. නොඑසේ නම් අපේ ජන කාන්ත සංගීත ශිල්පියා වූ සුනිල්ශාන්ත ගුවන්විදුලියෙන් කොන් කර දැමීමට කිසිඳු හේතුවක් නැත. අමරදේවටත් ඔහුගේ සහාය ගායිකාවන්වත් මේ අන්දමින් ගුවන්විදුලි වැඩ සටහන් දීමට පුළුවන් කමක් තිබේ නම් ඒ වාගේ හත් අට ගුණයකින් වැඩ සටහන් ලැබීමට සුදුස්සා වූ සුනිල් සාන්තට වැඩ සටහන් නොදී මෙන් ගුවන් විදුලිය කරන්නේ බලවත් අයුත්තකි. සුනිල්ට ගුවන් විදුලිය අරියාදු කරන්නේ යයි රටේ ඇතිවී තිබෙන රාවය ඔවුන්ගේ ප්‍රතිපත්ති අනුව හොඳ හැටි ඔප්පුවනවා ඇත.


සිනමාදීප - 1995 මැයි අග දෙසතිය

Tags:
 
Anyone in the world

ඒ ගීතවලට කුමක්වීද?

දැනට මාස ගණනකට ප්‍රථම සුනිල් ශාන්තයන්ගේ ගීත ගුවන් විදුලියෙන් අසා ගැනීමට පවා නුපුළුවන් කරුණක්ව තිබුනේය. එහෙත් සුනිල් ශාන්තයන් විසින් ලංකාදීපයට '' මට වූ දේ'' යන මැයෙන් ලිපියක් පළවූවා අපට මතක ඇත. එදින සිට උදා ගීතවලටත් දීවා ගීතවලටත් ඔබේ තිරය කියා ගන්නා ඒ ගුවන් විදුලි නිලධාරීන් ගේ තීරයටත් නිතරම පාහේ වාදනය වනවා අපට ඇසේ.

පසුගිය දිනයක එක්තරා දිනපතා පුවත් පතකට ලිපියක් සපයන මහතෙක් ලියා තුබුනේ ලංකා ගුවන්විදුලි ආයතනයෙහි වැඩිම ගීත ගණනක් තැටි වලට නැගූ එකම ගායකයා සුනිල් බවයි. එහෙත් දැන් එවැනි තැටි තුණක් හෝ සතරක් වාදනය කරන බවයි. අනිකුත් ගීත වලට කුමක් වීද? පුදුමය ඔබේ තීරය කියා ගන්තා ඒ ගුවන් විදුලි නිලධාරින් ගේ තීරයෙහි ඒ ලිපිය පළ වූ රාත්‍රියෙහි අවුරුදු ගණනකින්නො ඇසූ ගීත දෙකක් ප්‍රචාරය වීමයි. මෙයින් ගීයෙක් දැනට ස්වල්ප කාලයකට ප්‍රථම දී අසන්නෙක් ඉල්ලා යැවූ විට එක් ප්‍රකාශකයෙක් කියා සිටියේ එම ගීතය වාදනය කිරීමට නුසුදුසු තත්වයක තිබෙන බවයි. එදා නුසුදුසු වූ ගීතය අද සුදුසු වීමත් ඒ ඔබේ තීරයට ලිපිය පළ වූ දා රාත්‍රියෙහිම ප්‍රචාරය කිරීමට අසන්නන් ඉල්ලා එවීමත් පුදුම සහගතය.

මීට,
ප්‍රෑන්ක් සිල්වා
මොරටුමුල්ල.

රිවිමිණ

Modified: Thursday, 2 October 2025, 3:33 PM
Tags:
 
Anyone in the world
(මොරටු මෙතෝදිස්ත උසස් විදුහලේ සිංහළ සාහිත සංගමයේ කමිටුව මගින් මේ සඟරා සිඟිත්ත පළවිණ)

'අද දින අනාත වී සිටින ගායකයා'

(කණ්ටු පෙළේ විමල් සිරි මැන්දිස් කුමරා විසිනි)

ගායික ගායිකාවෝ අප අතරැ බොහෝ ය. එයින් සිනමා ගී තාල වලට වචන යොදා ගයා නූගතුන් පිනවා උගතුන් වූවෝ සුලබ ය හ. අප අතරැ සිංහල වදන් 'පෙම් රෙල්ල' 'කෙලෑ හඳක්' යන දෙමළ - සිංහල හඬින් හඬවන ටික දෙනෙක්ද වෙති. ඔවුන් හෙළ සගයුවට (Music) නිගාවෙකි.

අපේ ගී මෙසේ වෙතත්, අපේ ගායික ගායිකාවන් මෙසේ වෙතත්, ගී සිප් සතර උගන්වනා විදුහල්වලෑ උගත්තෝ ද අප අතර සිටිත්. එවැනි උගතෙකි, සුනිල් සාන්තයෝ. සංකර ගී වලට හා සංකර ගායික ගායිකාවනට අප වඩා ඇලුම් කරන නිසා විය හැකි, අද වැනි දිනෙක මේ වත්මන් සිංහල සමාජයේ සුනිල් සාන්තයන් වැනි උගතුනට තැනෙක් නැත්තේ.

ඒ උගත් ගායකයා අද කුඹුරෙහි ය. එහෙත් සංකර ගායකයා අද සලෙලු ජනයාගේ හිස් මුදුනතෙහි රජ කරයි. අහෝ ! අප හෙළ සගයු වෙසරදුනට වූ විපත !

ඇත්තෙන්ම සුනිල් සාන්තයන් ගේ මිහිරි ගී අසන අප ගේ හද, උණු නොවේද ඔහුට වූ විපත ගැන. " ඕලු පිපීලා විල ලෙල-දෙනවා සුදට සුදේ නංගෝ," "හෝ......... හෝ ගා රැල්ල බිඳේ.. මූ.. දේ නාදේ....," බෝවිටියා දං පළුකන් වාරේ මේ නො වැ පොඩි නංගෝ, " කෝමල දෑත නඟාලා '' යන ගී ද ඔවුන් ගේ අනෙක් ගී ද, අසන විට අප ගේ හද පිනවා ගියේ නම්, අද ඔවුන් ගේ දුක අපට ද දුකෙක් නොවේද?

අද අප විදුහලේ ගයන්නා වූ හෙළ ගියේ ද ගායකයා සුනිල් සාන්තයෝ යැ. එම නිසා අප ද ඔවුන් සමඟ දුක් විය යුතුවා මෙන් ම ඔවුන්ගේ සේවය නැවත ද ලබා ගැනීමට ඔහුට උපකාර විය යුතු ය.

කුමරතුඟු සමරු දෙවන කලබ - 1955 මාරතු 4 වැනි දා
Tags:
 
Anyone in the world

තැපැල් මල්ල

සුනිල් සාන්ත හා ලංකා ගුවන් විදුලිය

කලා කරුවෙකු, ගීත කෝකිලයෙකු ලතවෙති තම නිවසේ, කුරිරු රුපුන් ගේ අයුක්තියට හිස නොනමා...

එහෙත්.... ඔහුගේ ඉදිරි ගමන නවතීද?.....

"වරෙන් හීන් සැරේ.... වරෙන් හීන් සැරේ.... වරෙන් හීන් සැරේ.........."

(සුනිල් සාන්ත)

දේශීය සංගීතය තම ඇට ලෙහ මස් නහර කොට තකා, රිදීවලාව සුනිල් හඬ ගුවන් තොටිල්ල, හේලි මිහිර, සුනිල් ගීය, මිහිරියාව මල් මිහිර ඈ ගී පොත් හෙළයන් ගේ අතින'ත යවා, ඕලු පිපීලා, හඳ පානේ ඈ ගීයෙන් බොළඳ කුමර කුමරියන් ගේ සිත් දිනා මේ හෝපලු වනය, මෙවන් පිටිසරේ, රැල්ල නැගෙන්නේ ආදී පෙම් ගීතයන්ගෙන්, පෙම්වතුන්ට පෙම් ලොවැ මිහිර කවා, දුදනො'ද බිඳ... යනුවෙන් ගැමී හඬ හෙළ ගුවනේ පතුරා, තැවෙති තම ගෙදර සුනිල් සාන්තයෝ ඉදිරියට යාගත නොහැකිව.

දුදන දුබල හඬට බිය වී, පන්දම් එස වීමේ දුබල කාරියට අත පාන්නට බැරි වී, යුක්තියට හිස නමන බැවිනි ගීත කෝකිළයෙකුට සිදු වූයේ මේ විපත.

මොහොතක් හැරෙමු අපි සගයු වෙසරද සුනිල් සාන්තයන් හට වචනයෙන් දිරි දුන් පුවත් පත් දෙසට.

(1) "සුනිල් සාන්තයන් විසින් ගුවන් විදුලියෙන් පැවැත් වූ සංගීතය අසා කුල්මත් වූ මහ ජනයා සිංහලයට උරුම සංගීතයක් ඇසී ඇති බවත්, සිංහල සංගීතයෙහිත් ජාතික සංලක්ෂණ ඇතිවිය යුතු බවත් තේරුම් ගත්තේය."

(ලංකාදීප, 1949.1.8)

(2) '' ඉන්දියාවේ සුප්‍රසිද්ධ ගායකයන් ඇසුරෙහි උගත්, උපාධිධාරි සුනිල් සාන්තයන් තමන් උගත් දෑ පදනම් කොට ගෙන සංගීතයටම විශේෂවූද දේශීය සම්ප්‍රදායට අනුකූලවූද ලක්ෂණයන්ගෙන් යුක්තව සිංහල සංගීතය නගා සිටුවීමට කරන තැත කොතරම් දුරට සඵල වී තිබේදැයි මේ.... ගීතයන්ගෙන් පැහැදිලි වෙයි "

(දිනමිණ 1949.2.8)

(3) "සිංහලයාට හිමි සංගීතයක් නැතැයි සෙමින් හින්ධුස්ථාන රාග වලට අපගේ සිංහල සිතුවිලි දහර සිරකොට තැබීමෙන් හීන දීන පරගැති තත්වයකට වැටී තුබූ "සිංහල සංගීතය" මෑතක සිට යලිත් හිස ඔසවා බලනු දකින කවර සිංහලයෙකු ගේ හද සුවද පිපී එනු නිසැකය. මහ සංගීතකාරයකැයි වැජඹුනු, වැජඹෙන, බොහෝ දෙනොගේ ගායන ක්‍රම අනුව ගොස් මුලා වේ වැටී සිටි සිංහලයාට නියම සිංහල සංගීතය කිමෙක් දැයි වටහා දෙන්නට මං සලස්වන්නවුන් අතුරෙන් සුනිල් සාන්තයනට හිමි වනුයේ මුල් තැන බව ඉඳුරාම කිව යුතුයි"

(පෙරමුණ 19.10.7)

එහෙත් ගීත ලෝකයෙන් ඈත්වී කරති සටනක්. මෙයට මුල්ම වරදකරු අපේ ගුවන් විදුලි සේවයයි. ලංකාවේ ගුවන් විදුලි සේවය මහ ජනයාගේ නො වේ. එය ආනන්ද සරත් විමලවීර මහතාගේ දෙසුමකින් හෙළිවේ. "අද ලංකාවේ කලා කාරයනට තැනක් නැත්තේ කලාකාරයාගේ වරදින්මයි. ඔවුන් කලා ජීවිතය සාර්ථක කැරැ ගැන්මට උත්සාහ ගන්නේ ගුවන් විදුලියෙන්මයි. නමුත් වෙනත් මාර්ග තිබෙන බව ඔහු සිතිය යුතුයි. එම නිසා ගුවන් විදුලියටවත් රජයටවත් බැනීමෙන් පලක් නැහැ"

(රිවිමිණ)

පුදුමයි! මොහුගේ කථාව ගුවන්විදුලිය කලා කරුවාගේ වාස ස්ථානයක් මිස එය විදේශීන්ට පන්දම් අල්ලන තැනක්වත් විනෝදකාමි ජනයාගේ රඟ මඬලක් වත් නොවේ. ඉදින් ඒ මහතාගේ දෙසුමෙන් පැහැදිලි වනුයේ සුනිල් සාන්ත ආනන්ද සමරකෝන් වැනි හෙළ සංගීත'ඹරේ
දිලෙන ලෙළෙන කලාකරුවනට ගුවන් විදුලියේ තැනක් නැති බවයි. දේශයට නිගා දෙන මෙවැනි ගුවන් විදුලි තිබෙනවාට වඩා හොඳා කඩා දමනවා.

අනෙක, ගුවන් විදුලියේ ශිල්පීන් වර්ග කිරීම, ඉන්දියානු දක්ෂ සංගීත කාරයකු අප ගේ හෙළ ගීත අනුව ශිල්පීන් වර්ග කරයි. ඒ මහ කවට කමෙකි. ලංකාවේ සංගීතයකට පිහිට පැතීමට-විදේශීය සංගීතඥයෙක්. මේ රතනජන්කර් විහිලුවට සුනිල් සාන්තයෝ එකහෙලා විරුද්ධ වූහ. එසේ විරුද්ධවීමට හේතුව සුනිල් සාන්තයෝ මෙසේ පෙන්වති ඔහු ගේ "දේශීය සංගීතය නමැති පොතින්." රත්නජන්කර් මහතා ගේ කටයුත්ත හින්දුස්ථාන සංගීතය පතල කිරීමයි. ඉන්දියාවේ පමණක් නොවේ හැකි නම් මුළු ලොවේම පතල කිරීමයි. දේශීය සංගීතයක් ඇති රටෙක මිනිසුන් ඇදෙන්නේ තමා ගේ දේශීය සංගීතය පැත්තටයි. මේ බවට හොඳ නිදසුනක් සැපයෙනුයේ බෙංගාලයෙනි. එහි දේශීය සංගීතයට තද ඇල්මක් දක්වති. හින්දි සගයුවට එහි ඉඩඇත්තේ මඳ වශයෙනි. ඉතින් දේශීය සංගීතයක් නිපවද ගැනීම සඳහා අපි රත්නජන්කර් මහතාගෙන් උදව් පැතීම නම් කොස් ගසින් පොල් බලාපොරොත්තු වීමක් වැන්න"

(දේශීයසංගීතය)

මෙසේ ඇත්ත ප්‍රකාශ කිරීමේ සුනිල් සාන්තයන් හා ගුවන් විදුලියත් අතර ඇති වූ පරතරය ඉතා විශාල විය.

කලාකාරයා මුළු දිවා රෑ වෙහෙස නොබලා පැබැදුම් කරන ගී තවත් කොටසක් තම පොත්වල දමාගෙන පොත් ජාවාරම ගෙන යත්. මෙන්න මොවුහු වෙත් පෑල දොරින් පැමිණ කලාකරුවාට පිහියෙන් අනින්නෝ. එබඳු අයගෙන් අපි දයාබර ඉල්ලීමක් කරමු. දන බඩ ගා ඇවිදින බොළඳ සංගීත බිළිඳා ගේ අත් පා නොකඩන ලෙස. දැන් අපටමැ උරුම වූ දේශීය සංගීතයක් උවමනා බව අපි පිළිගනිමු. එසේ දැන දැනත් විදේශීන් ගේ සංගීතයට පොහොර දමා ඔවුන් ගේ සංගීතය වඩන්නට ගියොත් අපගේ කාරිය ඉටු නොවෙයි.

ඇස්. ටියුඩර් සිල්වා.
මොරටුවේ.
මොරටුමුල්ලේ 
323, දරණ නිවැසි,
1955.5.1

Tags:
 
Anyone in the world
Sandika Madushan
Sandika Madushan - Tuesday, 23 September 2025, 9:26 AM

සුනිල් සාන්ත

"රැල්ල නැඟෙන්නා මඳ මුදු සුළඟින් ළා ගොයමේ නංගෝ!" කියා එදා හිමිදිරි උදෑසන ගුවන් විදුලි යන්තරයෙන් මගේ ආදරණීය නංගිලා මල්ලිලා ඇමතූ සිංහල කටක් කලක් නිහඬව තිබී ගිය සතියේ නැවත ඇරුණේ ඉස්සර මෙන් ලස්සන සින්දු කියන්න නොවෙයි; දුප්පත්කම නිසා අත්වූ ගැහැට ගැන රට තොටට කියන්නයි.

සිංහලයන්ට විශේෂයෙන් සිංහල දරුවන්ට සිංහල සින්දු කියා දී, ඔවුන් අමතක නොවන රසයක් විඳීමට ඉඩ ලබා දුන් සුනිල් අයියා සිසු විනෝදයේ නංගිලා-මල්ලිලාට නම් කවදාවත් අමතක වන්නේ නැහැ.

තෙන්නකෝන් මාමගෙ "හැවිල්ල" ජයදේවගේ "ලලිත ලවංග" ගීතය මෙන් ම ළදරුවන්න්ගේ "බෝවිටියා" ගීතය ද සුනිල් අයියා හරි ලස්සනට ගායනා කළා. ඒ වුනත් අද අපේ සුනිල් අයියා සින්දු කියන්නේ නැහැ.

දුප්පත්කමේ රකුසාට ගොදුරු වෙලා; ආණ්ඩුවේ වත් ආධාරයක් නොලබා හරි දුකින් ජීවිතේ ගෙවනවලු.

මේ කතාව අහල ලොකු අයියට නම් හරියට දුක හිතුන. ලොකු අයියට සින්දු කියන්න බෑ. ඒත්, සුනිල් අයියගෙ සින්දු වලට ලොකු අයියත් හරි ආදරෙයි.

"ලංකා ලංකා" කියන සින්දුවෙන් සුනිල් අයියා කියනව "ලංකා පොලොවෙන් කොටසක් මුහුදට අසු වී දියවී ගියොත් ඒ මූදෙ පැනල මැරෙන්න වුනත් ලැහැස්තිය කියල. එහෙවු රටට ආදරයක් ඇති, සින්දු වලින් නංගිල මල්ලිලගෙ හිත ප්‍රබෝධ කළ සුනිල් අයියට මෙහෙම දුක්‍ විඳින්න සිදු වෙච්ච එක ගැන අපි කවුරුත් දුක් වෙන්න ඕන.

ලොකු අයියත්, නංගිල මල්ලිලත් සුනිල් අයියගෙ අග හිග කම් පිරිමැහිල නැවත වරක් ඒ මිහිරි කටින් ලස්සන සිංහල ගීත ගායනා කරන්න ඉක්මනින් ම ලැබේව කියල ඉත හිතින් ප්‍රාර්ථනා කරනවා!

ලොකු අයියා

ජාතිය

Modified: Tuesday, 23 September 2025, 9:28 AM
Tags:
 
Anyone in the world

ජනතා වෂර්‍ 1955 ක්වූ මැයි මස 27 වෙනි සිකුරාදා.

 

සුනිල්ගේ ඊළඟ පියවර..!

මෙතෙක් කල් මුළු ගැන් වී සිටි සුනිල් සාන්ත යළිත් වරක් ගී ගැයීමට ආරම්භ කිරීමට අදහස් කර සිටියි.

මෙවර සුනිල් සාන්ත අලුත්ම ක්‍රමයකට ස්වකීය දක්ෂතාවය යොදා සිංහල සංගීතයටත් විශේෂයෙන්ම බාල පරම්පරාවටත් සේවයක් කිරීමට තීරණය කර ඇත්තේය.

දෑනට තමා පදිංචිව සිටින ජාඇල දෙහියගාතේ නිවසට යාබදව ශාලාවක් ඉදිකර එය කුඩා දරුවන්ගේ විනෝද ශාලාවක් බවට පත් කිරීම සුනිල් ශාන්තගේ අදහසයි. 

ළඟදීම එම ශාලාව ඉදිකර කුඩා ළමයින්ට අවශ්‍ය ක්‍රීඩා භාණ්ඩ සහ සංගීත භාණ්ඩ මිලදී ගැනීමට සුනිල් අදහස් කරයි.

පුහුණු වූ සිංහල ගුරුවරයෙක් වූ සුනිල් ස්වකීය ගුරු බිරිඳ සමග එම ශාලාවේ ළදරු පාසැලක් ආරම්භ කිරීමටද අදහස් කරයි.

දැනටමත් සුනිල්ගේ ගෙදර ඔහු සමග කාලය ගතකරන ළමා පිරිස 40 කට වැඩිය.

මිනිසුන්ගේ කුහක කම්වලින් තොර අහිංසක දරුවනගේ ආශ්‍රය සිය විනෝදයට හේතු වන බව පවසන සුනිල් මීට පෙරදී කලාවෙන් ඈත්වීමට අදහස් කළේ අහිංසක කලාකරුවනට අපේ සමාජයේ නියම තැන නොලැබෙන
හෙයිනි.

කලාවේ නාමයෙන් ව්‍යාජ මුහුණු වරක් පෙන්වා නැගීසිටීමට උත්සාහ දරන කපටි පිරිසක් නිසා මෙරට දක්ෂ කලා කරුවන් කීප දෙනකුම සමාජයේ මුල්ලටම තල්ලුවී ගිය සැටි කාට වුවද මතක ඇත.

Modified: Tuesday, 23 September 2025, 9:01 AM
Tags:
 
Anyone in the world

ජනතා වෂර්‍ 1955 ක්වූ ජුලි මස 14 වෙනි බෘහස්පතින්දා

 

සුනිල් ආයිත් ඇවිත් සිංදු කියන්න

සුනිල් ආයිත් අප අතරට විත් සිංදු කියන්න යයි මොරටුවේ රැස්වීමකදී සාගර පලන්සූරිය මහතා සුනිල් ශාන්තට ආයාචනයක් කෙළේය.

"සමස්ත ලෝකයේ ම ගෞරවයටත් සම්මානයටත් පාත්‍රව තිබෙන කැළණි විහාරයේ
සිත්තම් ඇඳි චිත්‍ර ශිල්පියා ඒ කර්මාන්තය කළායින් පසුව කලාවෙන් සම්පුර්ණයෙන්ම වෙන්ව කුඹුරට බැස ගොවිතැන් කරනවා. ඔහු අද සිත්තමක් දෙස බලන්නේවත් නෑ. කලා කාරයෙක් වුනොත් බඩගින්නේ මැරෙන්න්න වේවි" යැයි සුනිල් සාන්ත ප්‍රමුඛ කලාකාරයින්ට ලංකා ගුවන්විදුලියෙන් කරන අරියාදුවට විරුද්ධත්වය දක්වා වහාම ලංකා ගුවන්විදුලි සේවයෙන් ඔවුන්ට නියමතැනක් දිය යුතුයැයි බල කරනු සඳහා මොරටු නගරශාලාවේ පැවැත් වූ සභාවක් අමතමින් කතා කළ සාගර පළන්සූරිය මහතා ප්‍රකාශ කළේය.

වැඩි දුරටත් කතා කළ ඒ මහතා  "මේ ආණ්ඩුව නිකම්ම විහිළුවකි. බත් ඉල්ලන මිනිසුන්ට තුවක්කු දෙති. කලාව ඉල්ලන මිනිසුන්ට මොහමඩ් සු සුගේ නැටුන් පෙන්වති. මේ රට බල්ලට ගොස් තිබේ. සුනිල් සාන්තට ගුවන්විදුලියෙන් අරියාදු කළ පළියට වල් වදින්නට පුළුවන්කමක් නැත. සින්දුවක් කියන කලා කාරයා ඒ කියන්නේ ආණ්ඩුවෙන් මුදලක් ලැබීමට නොවේ. නොකියා බැරිනිසාය. පොදු ජනයාගේ බඩගින්න නිවීම සඳහා සුනිල් සාන්තට වහාම මහජනයා අතරට ඇවිත් සංගීතය සපයන හැටියට මම මහ ජනයාගෙන් ඉල්ලා සිටිමි” යි කීය.

-මොරටුව ජනතා වාර්තාකරු-

Tags: