Blog entry by Sandika Madushan

Sandika Madushan
by Sandika Madushan - Sunday, 25 January 2026, 6:11 PM
Anyone in the world

සුනීල්-හඬ

සම්පාදකවරු:
සුනීල් සාන්ත සහ හියුබත් දිසානායක.

ගායකයකු වශයෙන් සුනීල් සාන්ත වර්තමානයට හඳුන්වාදීමට විශේෂ පරිශ්‍රමයක් නුවුවමනායැයි සිතමි. කථාකිරීමේ ආශීර්වාදය හැමටම වාගේ ලැබෙන නමුත් ගී ගැයීමේ බුහුටි බව ලැබෙන්නේ ඉතා ටික දෙනකුටය. සුනීල් සාන්ත ඒ ඉතා ටික දෙනගෙන් එක්කෙනෙකි. ගායකයා ගයන්නේ හුදෙක් තමාගේම අන්තරය සැනසීමට හෝ පළකිරීමට හෝ පමණක් නොවේ. අනුන්ගේ වේදනාව සහනය කිරීමටත් දුක් පහකිරීමට නොහොත් අමතක කරවීමටත් සිතේ බැඳී පවතිනා හැඟීම් ඉවත් කිරීමටත් ගායකයා ගී ගයන්නේය. මෙයට කලින් පළවූ රිදී වලාවේ ගී වලින් මෙන්ම සුනිල් හඬේ ගී වලින්ද සුනීල් සාන්තගේ සුමුධුර ගායනයෙන්ද සිදුවන්නේත් එබන්දෙකි.

සිංහල ගී සින්දු ආදිය කෙරෙහි දැක්විය යුතු ගරුත්වයෙනුත් ඇදහිය යුතු පිළිගැනීමෙනුත් ගරුකරන්නටත් පිළිගැනීමක් දක්වන්නටත් සිංහල මිනිසුන් පටන් ගත්තේ ඉතා මෑත කාලයක සිටය. සංගීතය පිළිබඳ ලංකාවේ මේ නූතන උන්නතිය ආරම්භ වූයේ එක්තරා ගීත කීපයකිනි. ගායකයන් කීපදෙනෙකුගෙනි. ඒ චමත්කාර ජනක මිහිරි ආරම්භය උදාකර දීමෙහි මූලික වූවකු වශයෙන් සුනිල් සාන්තද සලකනු ලැබිය හැකිය. සුනීල් හඬේ ගී දසඅත සුනීල් සාන්තගේ ගායන මාධුර්යයට රස මාවතකි.

ලේඛකයකු සහ කිවියකු වීම මෙන්ම ගායකයකු වීමද සහජයෙන් ම ලැබිය යුතු වාසනා මහිමයක් සේ මම සළකමි. හුදෙක් අභ්‍යාසයෙන් පමණක් එබන්දකු විය නොහැකිය. සහජ වාසනා මහිමයට ශාස්ත්‍රානුකූල අභ්‍යාසයන් එක්කරගත් මේ ගායකයාගේ එක් උත්සාහයක්ව පවත්නේ අමිශ්‍ර සිංහලයෙන් නව නාට්‍ය රසය උද්ගිරෙන ඕනෑම අදහසක් පළකළ හැකි බව විදහා දැක්වීමය. ඒ පරිශ්‍රමය සාර්ථක වී ඇති බව මෙයින්ද පෙනේ.

අපේ ඉතා රසවත් ගී අත් කිසිවක් නොව අපේ ඉතා දුක්ඛිත සිතිවිලි යැයි අපරදිග ශ්‍රේෂ්ඨ කවියකුගේ කියමනකි. ඒ බව මේ ගී වලින්ද ස්ඵුට කෙරෙයි. ගීතයත් කවියකි. මේ ගී ඉතා උසස් කාව්‍යයන් වශයෙන් සැලකිය හැකිය. මේ ගී ජනප්‍රිය වීමේහි ප්‍රධාන හේතුව මේවා කාව්‍ය රසයෙන් අනූන නිසාමය. 

මිල රු. 2. 00 කි.

කාලිදාස.

1948. 1. 12. - දිණමිණ