Site blog

ලෝකයේ සිටින ඕනෑම කෙනෙකු
Sandika Madushan
Sandika Madushan - බදාදා, 24 දෙසැම්බර් 2025, 7:42 PM

SONG AND DANCE RECITAL AT UNIVERSITY

The University of Ceylon Mela (Society of Oriental arts) which has revived its activities after about five years, has organised a song and dance recital scheduled for this evening at 6.30 at the University hall.

The recital is produced by Mr. Demosthenes A. Jayawardene, the President of the mela, and some of Ceylon's leading Oriental artistes are included in the evening's card. A noteworthy feature is the first appearance of Miss N. Bhattacharya and Mr. S. Dutt. Local artists include, Sunil Shanti, Ananda Samarakone, Surya Shankar, Indira Meun and the Sri Palee players.

The proceeds are in aid of the Mela Funds.

19.10.1946

ලේබල:
 
ලෝකයේ සිටින ඕනෑම කෙනෙකු
Sandika Madushan
Sandika Madushan - බදාදා, 24 දෙසැම්බර් 2025, 7:41 PM

MELA, the Ceylon University's Society of Oriental Arts has again revived its activities after a lapse of about five years. The programme for the year includes classes in Oriental music, and dancing, a public song and dance recital, and an exhibition of paintings by members of the University.

Two singing classes in Sinhalese and Hindustani music and a dancing class for girls are being conducted by the well-known artistes, Sangeeth Visharad Sunel Santi, Mr. Ananda Samarakoone and Sri Prema Kumar respectively. These classes are already crowded and great enthusiasm, is said to prevail among the students of the University in the study of Oriental Music and dancing.

For the song and dance recital to be produced by the President of the Mela, Mr. Demosthenes Jayewardene, many of the leading Ceylon artistes have given their promise to contribute items.

ලේබල:
 
ලෝකයේ සිටින ඕනෑම කෙනෙකු
Sandika Madushan
Sandika Madushan - බදාදා, 24 දෙසැම්බර් 2025, 7:40 PM

අපේ සංගීතයට වූ බලවත්ම පාඩුව

මහත්මයාණනි,

ජාතියට මෙහෙයක් කිරීමේ එකම බලාපොරොත්තුවෙන් මුළු ජීවිත කාලයේ අධික වෙහෙස දරා කටයුතු කළ සංගීතාචාර්ය ඇම්. ජී. පෙරේරා මහතාගේ අභාවයෙන් අපට වුයේ කියා නිමකළ නොහැකි පාඩුවෙකි. භාරත මාතාවට විෂ්ණු නාරයන් භාට්ඛණ්ඩේද ලක් මවට ඇම් ජී පෙරේරාද ඇතිවූහ. පෙරදිග සංගීතය සම්බන්ධයෙන් අද ලක්දිව පවතින උනන්දුව පෙරේරා මහතාගේ අධික උත්සාහය නිසාම ඇති වූ බව එකහෙළා පිළිගත යුතුය. එතුමාගේ එකම බලාපොරොත්තුව වූයේ ලක්දිව පෙරදිග සංගීතය නගා සිටුවීමය. සංස්කෘත, හින්දි, මරාටි ආදී භාෂාවන් සෙවාත් සායෙන් ඉගෙන ප්‍රාවීන සංගීත ග්‍රන්ථයෙහි ගැඹුරු තැන්, ගැටලුතැන් තේරුම්ගෙන පැහැදිලි භාෂා

වෙන් ග්‍රන්ථ නිෂ්පාදනය කිරීමෙන් සිදු කළ මෙහෙය පුදුමාකාරය. අධික වෙහෙස දරා නිරාකුල දැනුමක් ලබාගත් පසු 1912 දී ගීත ශික්ෂකයේ ප්‍රථම භාගයත්, 1917 විතීය භාගය 1933 දී තෘතීය භාගයත් සපයන ලදහ. විද්‍යාව සම්බන්ධයෙන් සැපයුනු පොත් තුනෙකි. ගීත සුබොධිනී, සංගීත මධුව, සප්ත ස්වරය ආදී තවත් සංගීත පොත්ද වැනිසියේ වෙළෙන්දා සහ ජුලියට්, ජුලියස්සීසර්, නිමීෂියස් ආදී නාට්‍ය පොත්ද පෙරේරා මහතා විසින් සපයන ලදහ. පෙරේරා මහතා කළේ මුදල් උපයීමක් නම් නොව ජාතිය උදෙසා නොමසුරුව වියදම් කිරීමේකි. එතුමාගේ කාලය ගමන් කළේ සංගීතයත් සමඟ අත්වැල් බැඳගෙනය එතුමාගේ පුස්තකාලය සංගීත පුස්තකාලයකි. එතුමාගේ ගෘහය සප්ත ස්වරයෙන් නිමවූවෙකි. ඇත්තෙන්ම එතුමා සංගීතාචාර්යවරයෙකි සංගීතය නිසාම ඇති වූ එතුමාගේ

ශාන්ත ගති පැවතුම් අවශෙෂයනට ආදර්ශයෝ වූහ. අවාසනාවෙකි. එතුමාගේ උත්සහයේ නියම ප්‍රතිඵල එතුමාට දක්නට නොලැබින එතුමාගේ ව්‍යායාමයෙහි අගය බොහෝ දෙනාට නොවැටහුනි. එහෙත් වාසනාවකට මෙන් එතුමා සෙවනෙහි ඉගෙනීම ලැබුවෝ ලක්දිව වෙත්. ඒ මහතුන්ගේ උත්සහයය දැන් අවශ්‍ය වනුයේ පෙරේරා මහතා යෙදූ අත්තිවාරම ඒ මහතුන්ගේ උත්සාහයෙන් දියුණු විය යුතුය. එතුමා බලාපොරොත්තු වූ ප්‍රතිඵලය කවදා නමුත් ඇති විය යුතුය. ඒ එසේ වනතුරු එතුමාගේ ප්‍රාණයට සැනසීමෙක් නැත. එබැවින් එතුමාගෙන් ඉගෙනීම ලැබූ මහතුනි, සංගීත රසිකයිනි, ඒ අසරණ ප්‍රාණයට සැනසීම දීම සඳහා කටයුතු කිරීමට නැඟී සිටිමු.

මීට,

සුනිල් ශාන්ති.

ලක්නව්හි භාට්ඛණ්ඩේ

සංගීත විද්‍යාලයේදීය.

1942/05/25

ලේබල:
 
ලෝකයේ සිටින ඕනෑම කෙනෙකු
Sandika Madushan
Sandika Madushan - අඟහරුවාදා, 23 දෙසැම්බර් 2025, 8:52 PM

ගුවන්විදුලි මගින්

මහත්මයාණනි,
පසුගිය සෙනසුරාදා පළවූ උක්ත ශීර්ෂයෙන් යුත් ලිපිය කියවා මේ ලිවීමට අදහස් කළෙමි.

විනීත් ජයසූරිය මහතාට අසන්නට ලැබුණු සරත්චන්ද්‍ර නෝනාගේ ඒ ගැයීම අපට ද අසන්නට ලැබින. එසේම චන්ද්‍රා වනිගසේකර තරුණ කාන්තාව විසින් දෙන ලද ශබ්දවාහීනී තැටිය ද අසා තිබේ. බිභාෂ්  රාගයට අයත් 'ජාගියේ ගොපාල' යන ඒ ගීතය ශාන්තිනිකේතනයේදීම ඉගෙනීමට අපටත් අවකාශ ලැබීම වාසනාවකි.

සරත්චන්ද්‍ර නෝනාගේ ගායනයෙහි වැරදි තැන් කීපයක් තමාට අසු වූ බැව් ජයසූරිය මහතා කියයි. ස:නෝනාගේ ගැයීමෙහි වැරදි ලෙස පෙනී ගිය තැන් නොතිබුණා නොවෙයි. එහෙන් ජ:මහතා සිතන තරම් වරදෙක් නොවීය.

ස:නෝනාගේ ගැයීමෙහි සදොස් තැන් කීපයක් අසු වූ තැන ව:නෝනාගේ ගැයිමෙහි එකද අඩු පාඩුවක් ජ:මහතාට අසු නොවීම පුදුමයෙකි. ව; කාන්තාවගේ ගැයීමෙහි බලවත් වැරදි කීපයක් පහත පෙනේ.

අපරදිග ක්‍රමයට ගැයීම: ස්වරයෙන් ස්වරයකට පැනීමෙන් ගැයීම පෙරදිග ක්‍රමයට අයිති නැත. (එබැවිනි, සර්පිනාව හෝ පියානාව හෝ පෙරදිග සංගීතයට නුසුදුසු.) ස්වර සම්බන්ධය ඇතිව හෙවත් 'මීර්' සහිතව ගැයීමය පෙරදිග ක්‍රමයෙහි ඇත්තේ.

රාග ඥානයක් නැතිව ගැයිම: රාගයකට අයත් ගීයක් ගැයීමට පෙර රාගය පිළිබඳට හොඳ අවබොධයක් තිබිය යුතුයි. ස්වර සමුහයක් ගැයූ පමණින් රාගය ප්‍රකාශ නොවෙයි. බිභාෂ් රාගය පිළිබඳ අවබෝධයක් නැතිව ගීය ගැයූ බව හොඳටම පැහැදිලිය.

ගායනය විය යුතු ස්වරය ගායනය නොවීම : නියමිත ස්වරය හරි හැටි ගායනය නොවී, එම ස්වරයට අඩුවෙන් හෝ වැඩියෙන් වූ ශ්‍රැතියක් ගායනයට වී තිබෙන තැන් කීපයකි.

මුර්ජනා යනු කුමක්දැයි නොදැන ගැයීම: ගීයක් අලංකාර වනුයේ දක්ෂ ලෙස මුර්ජනා යෙදීමෙනි. මේ ගායනයෙහි එක ද මුර්ජනාවකුත් නැතිවීම නිසා අසන්නාට ගීය විඩා ගෙනදෙයි.


මීට, සුනිල් ශාන්ති
දෙනියාගාත,
ජාඇල
(කොටයක් කපා හරින ලදි. කතෘ)

1943.06.25

ලේබල:
 
ලෝකයේ සිටින ඕනෑම කෙනෙකු
Sandika Madushan
Sandika Madushan - අඟහරුවාදා, 23 දෙසැම්බර් 2025, 8:45 PM

ලියුම්

ගුවන්විදුලි මගින්


මහත්මයාණෙනි, 
පසුගිය බදාදා සවස් භාගයෙහි ගුවන් විදුලි මගින් ප්‍රචාරය වුනු ගායනයකට ඇහුම්කන් දුන් මට මෙය ලිවීමට සිත් විය. ගායනය කෙරුනේ ඊ.ආර්.ද ඇස්. සරත් චන්ද්‍ර නෝනා විසිනි. එහිදී එක්තරා හින්දුස්ථානි ගීයක්ද ගායනය වුණේය. සිංහල හෝ හින්දුස්තානි හෝ වේවා ගායනය නම් නිවරදවා කළ යුතු විද්‍යාවකි.

එදින ගැයුණු එම හින්දුස්ථානි ගීය අපද උගෙන තිබේ. සරත් චන්ද්‍ර නෝනාද උගෙන ගන්නට ඇත්තේ අප උගත් ආයතනයෙන්ම බව නිසැකය. එදින ගායනයෙහි සදොස් තැන් කීපයක්ම අවබොධ විය. කීර්ති ශෙෂගත තුල්සිදාස යන්ගේ නිබන්ධයක් වූ එම හින්දුස්ථානි ගීතයෙහි සාරය, රාගය හා තාලයද ගෙන අප විසින් ගල පන ලදුව, අප ආයතනයෙහිම ගීත ශිෂ්‍යාවක් වන මාතර චන්ද්‍රා වනිගසේකර තරුණ කාන්තාව විසින් චතුර හා මධුර ලෙසත් ගායනය කරන ලද සිංහල ගීය ශබ්ද වාහිනී තැටියක මගින් දැන් ප්‍රචාරය වී තිබේ.

මීට,
ගීත ශිෂ්‍ය, විනීත් ජයසූරිය
මැයි 27
ගම්පොල

(කොටසක් කපා හරින ලදී. කර්තෘ)

1943.06.19

මදක් වෙනස් කරන ලද: අඟහරුවාදා, 23 දෙසැම්බර් 2025, 8:53 PM
ලේබල:
 
ලෝකයේ සිටින ඕනෑම කෙනෙකු
Sandika Madushan
Sandika Madushan - අඟහරුවාදා, 23 දෙසැම්බර් 2025, 8:42 PM

ඉන්දියාවේ මහා සංගීත විද්‍යාලය

උසස් පුහුණුව ලබන ලාංකිකයෙක්

පුහුණු වූ පාඨශාලාචාර්යයවරයකු වශයෙන් ලක්නව්හි භාට්කණ්ඩෙ සංගීත විශ්ව විද්‍යාලයට ඇතුළත් වී ඉගෙනීමෙහි යෙදී සිටින සුනිල් ශාන්ති බද්දලියනගේ මහතා නිවාඩු කාලය ගෙවීම සඳහා දැන් ලංකාවට පැමිණ සිටී. ඔහු පළමුව ශාන්ති නිකෙතනයේ අවුරුද්දක් වංග සංගීතය හදාරා අනතුරුව ගායනය හා සිතාර වාදනය පිළිබඳ විශේෂ පුහුණුවක් ලබා ගැනීම පිණිස භාට්කණ්ඩෙ විද්‍යාලයට ඇතුළත් විය. පසුගිය වර්ෂයේ පැවැත්වූ පරීක්ෂණයෙන් දෙවෙනියාව සමර්ථ වූ සුනිල් ශාන්ති බද්දලියනගේ මහතා ලබන අවුරුද්දේ අයි.එම්.සී. ඩිප්ලෝමාව බලාපොරොත්තු වෙයි. සංගීතය හැදෑරීම සඳහා ලංකාවෙන් භාට්කණ්ඩේ විද්‍යාලයට ගිය ශිෂ්‍යයන් අතුරෙන් ගායනය පිළිබඳව ඉහළම පංතියේ ඉගෙනීම ලබන්නේ මේ මහතාය.


1941.06.09 - දිණමිණ

මදක් වෙනස් කරන ලද: අඟහරුවාදා, 23 දෙසැම්බර් 2025, 8:43 PM
ලේබල:
 
ලෝකයේ සිටින ඕනෑම කෙනෙකු
Sandika Madushan
Sandika Madushan - අඟහරුවාදා, 23 දෙසැම්බර් 2025, 8:41 PM

පුද්ගල ප්‍රවෘත්ති

පස් අවුරුදු ශිෂ්‍යත්වය ලබාගෙන සංගීතය උගැන්මට ලක්නව්හි භාත්කන්දෙ සංගීත විද්‍යාලයට ඇතුළු වූ සුනිල් ශාන්ති මහතා ඉගෙනීම සම්පූර්ණ කොට ලංකාවට පැමිණියේය. සුනිල් ශාන්ති මහතා මේ වර අවසාන වාද්‍ය විශාරද විභාගයෙන් පළමුවන පන්තියේ පළමුවැනියාට සමර්ථ වීය. තුන්වන අවුරුද්දේ ඒ මහතා ගායනය පිළිබඳව ඩිප්ලොමාව ලැබීය. එහෙයින් සුනිල් ශාන්ති මහතා වාදනය හා ගායනය යන දෙකින්ම ඉතා උසස් ලෙස සාමර්ථ්‍යය ලැබුවෙකි.

1944.12.28 - දිණමිණ

ලේබල:
 
ලෝකයේ සිටින ඕනෑම කෙනෙකු

1942/06/07 - සිළුමිණ

ලක්දිව හින්දුස්ථානි සංගීතය

අප අතර පැතිරගොස් තිබෙනවිහිළු විකාර

ලාංකිකයන් අතර පවතින පෙරදිග සංගීතය වෙස් මුහුණු කීයකින් පෙනී සිටීද කියා බලමු.
1. පෙරදිග ක්‍රමයත් අපරදිග ක්‍රමයත් මිශ්‍ර වූ සංගීතය ය.
2. හින්දුස්තානි චිත්‍රපටි හා ශබ්ද වාහිනි තැටි මගින් පැතිර ගිය සංගීතය ය.
3. බෙංගාලි සංගීතය අනුව ගිය සංගීතය ය.
4. ඉන්දියානු රෙදි කඩකාරයන්ගෙන් පැතිර ගිය සංගීතය ය.
5. පොත් මගින් ඉගෙනගත් සංගීතය ය.
6. ඉහත කී එකකටවත් නැති හිතුමතයට පිළියෙල කරගත් සංගිතය 
ආදි වෙස් මුහුණු බැඳ ඇතැමකු දෙවොල් නටන අතර නව යුවල සංගීතය යයි කියනුයේ සප්ත ස්වරයට යයි සිතා ස්වර සතේ නම් ඉගෙන හෙළයාගේ ගැයුම් වැයුම් හින්දුස්ථානියෙන් ගන්නා ලදැයි කීවෝ කවුරුද? මහ බොරුවෙක් කියා විසිඑක් වැනි ශතවර්ෂයට ගැලපෙන්නටදෝ
7. හෙළ මීයැසියක්ද නිපදුවෝල. එක කනයෙක්ද, දෙන් නෙක්ද, තුන්දෙනෙක්ද? කන රැළෙකි. යම් හෙයකින් මේ හින්දූ ස්ථානයෙන් ලූලකු පිහිනා ආ දිනක ඔහුට සවි ඇති ඉල ඇට ගොඩකුත් මා ගල් ගණනකුත් සපයා දෙන්නට සිදුවනවාට කිසිම අනුමානයක් නැත.

පෙරදිග සංගීතයට ඇති ඇල්ම නිසාම මුලින් දැක්වුනු ෂඩ්ප්‍රකාර සංගීතයට ලාංකිකයෝ ඇලුම් දක්වති, ගයති, වයති. පිරිසුදු විද්‍යානුකූල සංගීතය ඉගෙනීමට තවමත් නියම මාර්ගයක් නැති නිසා එම  සංගීතයන්ට දොස් පැවරීමටද ක්‍රමයෙක් නැත. එහෙත් කිය යුත්තෙකි පෙරදිග සංගීතය නම් පෙරදිග සංගීතය ගයත්වා, අපරදිග සංගීතය නම් ඒ ගයත්වා, දෙක මිශ්‍ර කිරීම එළහරකාට මී හරකා ඈඳීම වැනි යයි මීන පෙරද කීමු. හින්දුස්ථානි චිත්‍ර පටි හා ශබ්දවාහිනි තැටි මහින් ප්‍රචාරයට පත් සංගීතය නියම හින්දුස්ථානි සංගීතය යයි බොහෝ දෙනෙකුගේ කල්පනාවය ඊට දෙන කෙටි පිළිතුර නම් නැත යන්නයි. බෙංගාලි සංගීතය පෙරදිග ක්‍රමයට හැඩ ගැ නු මිහිරි සංගීතයක් වුවද ඒ විද්‍යානුකූල සංගීතය නොවෙයි. ඒ සංගීතයෙහි ප්‍රධාන වනුයේ සාහිත්‍ය රසය ය. බෙංගාලි භාෂාවේ කාව්‍යයන් මිහිරි ලෙස ගායනය කිරීමය. ඒ සංගීතයෙහි ඇත්තේ ඉන්දියානු රෙදි කඩකාරයන් අතර පවතින සංගීතය තුම්රි හා ගසල්ය. ඒ ද විද්‍යානුකූල සංගීතය නොවෙයි. නානාප්‍රකාර රාගයනට අයත් ගීතයන් පොත් පත්හි අඩංගු වුව ද රාග ඥානය පිළිබඳ දැනීමක් නැතිව ඒ නිවැරදිව ගායනයකිරීම කොහෙත්ම කළ නොහැක්කෙකි.

හෙළ මීයැසිය නමින් නිපදවුනු ඒ අභිනව සංගීතය සම්බන්ධයෙන් ද කිය යුත්තෙකි. ඒ සංගීතය නිපදවූවෝ ගායනයත්, වාදනයත් ස්වර ප්‍රස්තාර යෙදීමත් ඒ මියැසියෙන් උගන්වත් ල. වාදනයන් සවර ප්‍රස්තාර කිරීමත් පසෙක තබා ගායනය පමණක් ගනිමු. ඒ ගීතය. ප්‍රස්තාරවූයේ ඇත්ත වශයෙන්ම තමන්ට ඇති ස්වර පිළිබඳ දැනි මෙන්මද? ඒ සංගීතාචාර්යයනට තීව්‍ර මධ්‍යමයෙත් කොමළ මධ්‍යම යෙත් වෙනසවත් ගායනයෙන් පෙන්වා දීමට දක්ෂකමක් තිබේද? ඉදිරිපත් වන ඕනෑම ස්වර ප්‍රස්තාරයක් තූර්යය භාණ්ඩයක සහයක් නොමැතිව නොපැකිළ ගායනය කිරීමට ඒ අය ඉදිරිපත් වෙත්ද? කුමටද මේ බොරු? ඇතැමකු කල්පනා කරනුයේ සංගීතය ඔවුනට උත්පත්තියෙන් ලැබුණු දායදයක්ය කියාය. සංගීත රසිකයිනි, එකිනෙකා සිතන තරම් සංගීතය ලුහුඬු දෙයක නොවේ. එබැවින් සිහි බුද්ධියෙන් කටයුතු කරත්වා!

අශ්ලීල සංගීතය

බොහෝ දෙනාට හින්දුස්ථානි සංගීතය යන නමත් තිත්තවීමට හේතු වූ ප්‍රධාන පිලිලය නම් බජව්ව හෙවත් සාජ්ජේ ය.

'ඒකයැ ජෙමා ඊයෙ රෑ සර්පිනාවේ අන්තිම නෝට්ටෙකටත් ඉහළ කීව නොවැ. ඌටම ගැල පෙන සීමා, ඌ තමයි ඩෝලේ පැලුවෙ' මෙබඳු කියුම් ගම්වල බොහෝ විට කියවෙයි. රා කළ ගෙඩි දෙක තුනක් ද, අරක්කු බෝතලයත් නැතත් භාගයක්වත් ද, යටත් පිරිසෙයින් සූදු කුට්‍ටමක් ද, අස නැති වුවවොත් සැතැප්ම ගණනක් දුරින් හෝ ලබා ගත් ගන්ජා මිටි කීපයක්ද, මේ සංගීතය සඳහා වුවමනාමය. දැන් සංගීතය ඇරඹීමට වේලාට ආසන්නය. සර්පිනාවත් තබ්ලාව හෝ බෝලයත් පසෙක හාන්සි වෙත්. කළගෙඩිත් බෝතලත් නාද කරන්නට පට ගනිත්. දැන් සර්පිනාවටත් බර වැඩ, ඩෝලෙට ආසන්නෙ, ජෙමා 'ඊ'නූලෙ. වරක හේ හුන් තැනින් නැඟිටියි, ඇහීල අගින් සිටියි, බෙරි හඬ දෙයි. අසල මිනිසුනටන් නින්ද නැත, ජෙමාට තුන් මුණින ඩාදිය. බෝතල කළ ගෙයි වෙලුනි. අමුතු සුරුට්ටුවක් රවුම් ගසයි. දැන් සියල්ලන්ගේ ඇස් කුකුල් කරමල් පරදත්. ඇතැමෙක් බේබිකපති. තව අයෙක් උන් සිටි තැන්වලම නිදති. තව කෙනෙක් ආ ගිය තැන් නැත. සුදු පළෙහි කෙනෙකු " බේබි ' කපන්නට දෝ ගෝනා මීට පිහියක් ඇදගති, වැඩ ගොඩෙකි. එළිවුණි ගම්මුලාදෑනියාටද වැඩ ගොඩයි, වටේ පිටේ ගස්වල රා නැතිව තව කලබලයෙකි. තව තව නොකිය හැකි කලබලද ගණනාවෙකි. බලාසිටියෙක් ජෙමාගෙත් සීමාගෙත්වරුනෙ අසල කෝපි කඩේ හිඳ ගෙන කියයි. මෙන්න අප සංගීතයක් පැවැත්වූවා.

පිරිසිදු හින්දුස්ථානී සංගීතය පැත්තෙක තිබියදී නිකරුනේ එය පිළිකුලට භාජනවන්නේ ඉහත පෙනුනු ක්‍රමයේ අශ්ලීල සංගීතයන් නිසාය. බොහෝ දෙනා තේරුම් ගෙන තිබෙන්නේ ඒ හින්දුස්ථානි සංගීතයය කියාය. නැත, එහි හින්දුස්ථානි සංගීතයෙහි ඡායාව කුදු නැත. ඒ හින්දුස්ථානි සංගීතයෙහි සම්පුර්ණ විරුද්ධ පැත්තය. එ බැවින් ඒ අදහස අතහැර නියම පිරිසුදු සංගීතය කුමකදැයි දැනගැනී මට දුන් කාලයය.

රාග ඥානය

අද ලක්දිව, නිවැරදිව රාගයක් ගායනය හෝ වාදනය කළ හැකි අය කී දෙනෙක් වෙත්ද? ඉතා ස්වල්පයෙකි. එහෙන් රාග මවන්නෝ නම් අනන්නයි, අප්‍රමාණයි. රාග තාල සහිත ගීතයක් වුවද ගායනය කළ යුත්තේ පළමුවෙන් ඒ රාගය පිළිබඳව හොඳ දැනීමක් ලබා ගත් පසුය. මන්ද එකම ස්වරය වෙනස් වෙනස් රාගයන්හිදී වෙනස් වෙනස් ක්‍රමවලට ගායනය කළ යුතුව තිබේ. එසේ ගායනය නොකළොත් රාගය ප්‍රකාශ නොවෙයි. එබැවින් ගී ගායනයට පෙර රාගයන් පිළිබඳව හොඳ අවබෝධයක් තිබිය යුතුය. රාගයන් පීළිබඳ දැනීම ලබා ගැනීමට ස්වර ඥානය ඉතා තීක්ෂණ විය යුතුය. පළමුවෙන්ම ලබා ගත යුත්තේ ශුද්ධ ස්වරයන් පිළිබඳ දැනීම බවත්, ඒ ලබාගත යුතු ක්‍රමයක්, පුහුණු කළයුතු පහසු ක්‍රමයයත් මින් පෙර කියා දුනිමු ඉන්පසු කළ යුතු කොටස මෙහි සඳහන් කරමු.

බිලාවල් රාගය

බිලාවල් ථාටයට අයත් ස රි ග ම ප ධ නි යන ශුද්ධ ස්වරයන් පිළිබඳ දැනීම ලබාගත් පස එම ථාටයෙහි ප්‍රමුඛ රාගය වූ බිලාවල් රාගය පිළිබඳ අවබෝධයක් ඇති කර ගත යුතුය. මෙම රාගය පිළිබඳ සියලු විස්තර ශීත ශික්ෂකයෙහි වෙයි. සියල්ලට පළමු බිලාවල් රාගයෙහි ස්වරයන් යෙදෙන ක්‍රමය ගැන නිවැරදි අවබෝධයක් ඇති කරගත යුතුය. එක එක රාගයෙහි ස්වරයන් යෙදෙන ක්‍රමය එකින් එකට වෙනයි. රීතිය නොදැන තමන්ට කැමති පරිදි ස්වරයන් භාවිත කරන්නට ගියහොත් බොහෝ විට කිසිම රාගයක් ඇති විය නොහැක. ඇතැම් විට නා නා ප්‍රකාර රාගයන් ප්‍රකාශ විය හැක. එසේ ප්‍රකාශ විය හැකි රාගයන් ස්වල්පයක් මෙන්න

බිලාවල් ............ගරි, ගප, ධ, නිස
භූපාලි.............ග, රි, සධ, සරිග, පග, ධපග, රි, ස
දෙශ්කාර්...........ධ, ප, ගප, ගරිස
ශුද්ධ කළ්‍යාණ්.......ග, රිස, නිධප, ස, ගරි, පරි, ස
හමීර් ..............ස, රිස, ගමධ
කේදාර්.............ස, ම, මප, ධපම, පම, රිස
බිහාග් .............නිස, ගමප, ගමග, රිස
තිලක්කමෝද........පනිසරිග, ස, රිපමග, සනි
ඡායානට්............ප, රි, ගමප, මග, මරිස
ගෞඩසාරං .........ස, ගරිමග, පරිස
සංකරා.............ස, නිප, නිධ, ස, නිප, ගප, ගස
ගොඩමල්ලාර්.........රිගරිමගරිස, පමපධස, ධපම

ඉහත දැක්වුනු රාගයන් සියල්ල ටම ගැනුනේ ශුද්ධ ස්වරය. එහෙත් වෙනස් වෙනස් ක්‍රම වලින් යෙදී තිබේ. ඒ හේතුවෙන් වෙනස් වෙනස් රාගයන් ප්‍රකාශ විය. එබැවින් සැලකිලි සහිතව බිලාවල්හි ස්වර විස්තාරයත් පුහුණු විය යුතු ය.

තබ්ලාව භාවිතය

ගායනයේදී හෝ වාදනයේදී තබ්ලාව භාවිත කරන්නේ කුමටද, එය භාවිත කළයුතු නිවැරදි ක්‍රමය කුමක්දැයි නොදැන හිතුමතයට පොල් පලන්නාක් මෙන්, තාල් නීති අනුගමනය නොකොට තබලාව තැලීමට බොහෝ දෙනා පුරුදුව සිටිති.'හැකි තරම් දෑත නගා වෙර වඩා තැලූ පමණට දස්කම වැඩිය; දෑතෙහි ඇඟිලි දහය තමාට කැමති පරිදි භාවිත කළ හැකිය, තාලය යයි විද්‍යානුකූල දෙයක් නැත, වේලාවට අතට අසු වූ තාලය තාලයය' යනු ඔවුන්ගේ මතයෝය. ඉතින් කෙසේද අප සංගීතයෙන් ශාන්තියක් බලාපොරොත්තු වන්නෙ? ලුණු නැතිව කෑම රස නැත එහෙත් ප්‍රමාණයට පාවිචිචි කළ යුතුය. වැඩි වුවොත් බල්ලොත් නොකති. තබ්ලාව ද එමෙන් ප්‍රමාණයට භාවිත කළ යුතුය. ප්‍රමාණය ඉක්ම වූ තැන බල්ලෝ ගෙදරත් නොසිට බුර බුරා බැද්දට දුවයි. එසේ නම් එබඳු සංගීතයට ප්‍රියකරන්නෝ කවුරුද?

ගායනයේදී ප්‍රධාන වනුයේ ගායනයය. වාදනයේදී වාදනයය ගායකයාට හෝ වාදකයාට හෝ තාලය හා ලය දීමය, තබ්ලාවෙන් අදහස් කෙරෙනුයේ. ගායකයා ශබ්දය හෝ වැයෙන භාණ්ඩයෙහි ශබ්දය හෝ ඉක්මවා තබ්ලාව වාදනය නොකළ යුතුයි. තාලයන් පිළිබඳ හැඟීමක් හා ඒ තබ්ලාවෙහි වාදනය කළ යුතු ක්‍රමය ගැන හොඳ අවබෝධයක් පළමුවෙන් ඇති කර ගත යුතුය.මේ පිළිබඳ විස්තර ද ගීත ශික්ෂකයෙහි වෙයි.

තබ්ලාවෙහි ශබ්දය තමාට කැමති ලෙස සාදා ගැනීම රීතිය නොවෙයි. 'ස' ස්වරයට හෝ පංචමයට බොහෝ විට තබ්ලාව සාදාගනිත්. ඇතැම් විට සමග්‍රහයෙහි (සම්) ස්වරයට සාදා ගතිත්. ඉතා හොඳ ක්‍රමය නම් වාදී ස්වරයට සාදා ගැනීම යයි සිතමු. මාල්කොෂ්, කේදාර්, ලලිත් වැනි රාගයන් ගායනයේදී හෝ වාදනයේ දී එම රාගයන්ගෙ වාදී ස්වරය වූ මධ්‍යමයට (ම) තබ්ලාව සාදා ගැනීම යොග්‍යයි.

ලක්නව්හි භාට්ඛණ්ඩේ සංගීත විද්‍යාලයෙහි
සුනිල් ශාන්ත විසිනි

ලේබල:
 
ලෝකයේ සිටින ඕනෑම කෙනෙකු

1946/05/05 - සිළුමිණ

සංගීතයෙහි ‘‘මොන්ටිසෝරි’’ ක්‍රමය

මව්ගේ තුරුල්ලෙන් වෙන්වී 'අ' යන්න ඉගෙනීම සඳහා පාසලට එන ළදරුවා පිට බැරි බර පටවා වේවැලේ උදව්වෙන් ඉගැන්වූ කාලයෙක් ද විය. බිත්තිය දිගේ බඩගා වහලට නගින්නට කීම වැනි බැරි දේවල් දිනෙන් දිනම ළදරු වන් පිට පැටවීම නිසා ළදරුවනට පාසල තිත්ත විය. එකල බොහෝ ළදරුවනට පාසැල පෝරකයක් විය. ඒ නිසා ඔව්හු කට්ටි පනින්නට ද පටන් ගත්හ.

'මොන්ටිසෝරි ' ක්‍රමය යයි ළදරුවනට ඉගැන්වීමේ ක්‍රමයක් මෑතක දී පහළ විය. ඒ නිසා අද ළදරුවෝ ගෙදරට වඩා පාසලට ප්‍රිය කරති. ඉගෙන ගන්නා බව නොදැනම ඔව්හු ඉගෙනීම ලබති. අත හැඩ ගසා ගනිති. කට හැඩ ගසා ගනිති. අන් සෑම ඉන්ද්‍රියයක්ම හැඩ ගසා ගනිති. වෙහෙස නොවිඳිති. උනන්දුව හා ප්‍රබොධය දිනෙන් දිනම ඔවුන් තුළ වැඩෙන බව කාටත් පෙනී යයි.

දැනට අවුරුදු ස්වල්පයකට පෙර අපේ රටේ අද පවතිනවාට වඩා වෙනස් ක්‍රමයක උනන්දුවක් සංගීතය සම්බන්ධයෙන් පැවතිණ. ඔරුකාරයා අත හබල මෙන් ළපැටි සංගීතකාරයා අත වයලීනය දකින්නට ලැබිණ. එකල තූර්ය භාණ්ඩ වෙළඳශාලාවලටද හොඳ ග්‍රහයෙකුගේ සෙවණ වැටිණ. සෙනසුරාදා දිනවල නගර බදව, වයලින්කාරයන්ගේ පෙර හැර විශෙෂ දර්ශනයෙක් විය. එහෙත් අද කොයිද ඒ?

දහටගත් දේ පන්සියයට තබා දෙසිය පනහටවත් දෙන්නට බැරි වූ තත්වයට ඇතැම් ළපටි සංගීතකාරයන් වැටුණාහ. කෙනෙක් රුපියල් පන්සියයකට ගත් වයලිනය තුන් මසකින් පසු රුපියල් විස්සකට විකුණා දැමූහ. අනිකකුගේ වයලිනය ඔහුගේ ළදරු පුතාට බෝනික්කෙක් විය. අන් සමහරක් අද වනතුරුත් මුළු මුළුවල පුස් කති. මී පැණි බීමට දිව දික් කරන්නාක් මෙන් ළපැටි සංගීතකාරයා ඒ කලාව ඉගෙනීමට ඉදිරිපත් විය. එහෙත් ඊට ඇති ඇල්ම දිනෙන් දිනම අඩු වී ගොස් අන්තිමේ දී ඔහුට සංගීතය කදුරු මෙන් තිත්ත විය. කිමෙක්ද මීට හේතුව?

සංගීතයෙහි 'අ' යන්න වත් නොදන්නා තැනැත්තා අතට 'හා පුරා' කියා වයලිනයක් දීම, පහළ බාලාංශයට ඇතුළත් කර ගත් ළදරුවා අතට ලිවීම සඳහා උල්පත් පෑනක් දීම වැන්නකි. සංගීතයෙහි 'අ' යන්න ඉගෙනීමට අතගසන්නා බාලාංශ පංතියෙහි ළදරුවකු සේ සැළකිය යුතු ය. වයලීනය, තූර්ය භාණ්ඩ අතුරෙන් ඉගෙනීමට ඉතා අමාරු එකකි. එක්වරම වයලිනයට අත ගැසුවොත් ඔහුට සංගීතය තිත්ත වීම පුදුමයක් නොවේ.

සංගීතය යනු කිමෙක් දැයි හරි හැටි දන්නා ගුරුවරයා තමාගේ ශිෂ්‍යයාට මුල් අවදියේ දී තූර්යය භාණ්ඩයකට අත ගැසීමට කිසි විටෙක ඉඩ නොදෙයි. සංගීතය කණ පුහුණුව පිටම රඳා පවතී. කණ පුහුණුව නැතිව වයලිනය ඉගැන්වීමට ගොස් අද කරන විකාර, ඒ දැක පුරුදු අයට විස්තර කළ යුත්තෙක් නොවේ. ගුරුවරයා ශිෂ්‍යයාට වයලිනයේ ස්වර හඳුන්වා දීමට යොදන උපක්‍රමය කීය ත් වටී. නිදහසේ ඇඟිලි ලිස්සීමට සාදා තිබෙන ඇඟිලි පෝරුව පිට අලවයි කඩදාසි කැබලි මැලියම් ගා කඩදාසි කැබලි තිබෙන තෙක් ශිෂ්‍යයා යන්ත්‍රයක් මෙන් 'කතී වෙණ මියන' ලෙසින් වයලිනය ගහයි. කඩදාසි කැබලි පෙඟී ගැලවී ගිය දා ගහයි ඔහු වයලිනය අල්ලා පොළවේ. පරංගියා කෝට්ටේ ගියාට දෙවෙනි නොවන මේ ඉගැන්වීම් වල වැරදි අද වනතුරු ද ඒ ගුරුවරුනට නොපෙනී ගියේ සංගීතය ඉගෙනීමට ඉදිරිපත් වන්නගේ කුමන පාපයකටද?

අපට උත්පත්තියෙන් ම ලැබී තිබෙන තුර්ය භාණ්ඩයෙක් අප ළඟ තිබේ. උපන්දා සිට අපි ඒ වාදනය කරමු. ඒ සඳහා අමුතු උත්සාහයක්ද නොගනිමු. දත් දෙයින් නොදත් දේට යා යුතු පරිදි ඒ අත්තිවාරම් කොට ගැනීමය. සංගීතය ඉගෙනීමට ඇති පහසු ම මඟ හෙවත් 'මොන්ටිසෝරි ක්‍රමය'. ඒ ක්‍රමයෙන් ඉගෙනීම ලබන්නෝ සවි ඇති අත්තිවාරමක් ලබති. ඉක්මනට ඉගෙනීම ද ලබති. කිමෙක්ද මේ තුර්යය භාණ්ඩය? 'උගුර' ය. සංගීතයෙහි හෝඩිය වූ ස,රි,ග,ම,ප,ධ,නී යන ස්වරයන් උගුර වාදනය කොට හෙවත් ගායනයෙන් ඉගෙන හොඳාකාර කණ පුහුණුකරගත් පසු වයලිනයෙහි කඩදාසි ඇලවීමට වුවමනා නොකරයි. එහි ස්වරයන් ඉබේට ම ලැබෙයි.


- සුනිල් ශාන්ත විසිනි -

මදක් වෙනස් කරන ලද: සඳුදා, 22 දෙසැම්බර් 2025, 7:02 PM
ලේබල:
 
ලෝකයේ සිටින ඕනෑම කෙනෙකු
Sandika Madushan
Sandika Madushan - ඉරිදා, 21 දෙසැම්බර් 2025, 5:56 PM

1941 දෙසැම්බර්  28 - සිළුමිණ

ලක්දිව හින්දුස්ථානි සංගීතය

අපේ දුර්වලකම්වලින් ස්වල්පයක්

මිනිසා ගැයීමට පුරුදුව සිටියි. හේ ගයයි. ඉදිරියටත් එසේම වෙයි. කාලය අනුව ඔහුගේ ක්‍රමය වෙනස්විය හැක. වචන වෙනස් වියහැක. රාගය වෙනස්විය හැක.  නමුත් ඔහු ගයයි. සංගීතයක ආරංචියක් ඇසූ පමණින්, සිඟන්නන් රැළක් වැටි වැටී හැපි හැපී දාන පළක් දෙසට හති දමමින් දුවන්නාක්මෙන් මනුෂ්‍යයා ඒ දෙසට දුවයයි. ඒ එසේම විය යුතුය. අප සාගින්නෙන් නොව ඊටත් වඩා විශාල ගින්නකිනි පෙළෙන්නේ. නැතහොත් අප අවට මෙතරම් සංගීතය ඇතිවන්නට හේතුව කිමෙක්ද? සිනමා සංගීතය ගුවන් විදුලි සංගීතය, ශබ්ද වාහිනි සංගීතය, පාඨශාලා සංගීතය, විශ්ව විද්‍යාලයේ සංගීතය, මන්දිරයේ සංගීතය, තේ පැන් සැළෙත් සංගීතය, බස් නැවතුම්පොළෙහි ද සංගීතය, මග දෙපසත් සංගීතය, දියෙත් ගොඩත් අහසෙත් සංගීතය, දස දෙසම සංගීතය !  සංගීතය !! සංගීතය!!! මනුෂ්‍යයා සංගීතයෙන්ම කටයුත්තෙහි නියුක්ත වෙයි. සංගීතයෙනම ඇවිදියි. විශ්‍රාමගනියි. නිදයි. දැන් මඳක් විමසා බලමු මනුෂ්‍යයා මෙබඳු ඇල්මක් දක්වන ඔහුට ඉතාමත් අවශ්‍යවන මෙබඳු සංගීතය මඳක් නගා සිටුවීමට අප කුමක් කර තිබේද කියා.

රට් සංගීත ප්‍රබොධය

පසුගිය ස්වල්ප කාලය තුළ සංගීත තරඟ, සංගීත ප්‍රදර්ශන, නාට්‍ය ආදිය ඉතා සැලකිල්ලෙන් පැවැත්වුණු බව අපට මතකය. එමෙන්ම සංගීත පංතිද හතු පිපෙන්නාක් මෙන් ත්‍රි සිංහලය පුරා පැතිර ගිය බවද නොරහසෙකි.
රවිකිංඤයක් හෝ දැල් රුබාවක් හෝ තබ්ලාවක් හෝ නැති ගුරුවරයකු හෝ ගුරුවරියක සොයා ගැනීම ඉතා අපහසු කටයුත්තෙක් විය. ඇතැම් තැනෙක අර 'කන්දොස්කිරියාවේ' ( සර්පිනාවේ ) 'ගෝට්ටිය ද' තිස් පැයේම අසන්නට ලැබිණ. අදත් ඇසෙයි, ලංකා ගාන්ධර්ව සභාව මඟින් පෙරදිග සංගීතය නඟා සිට වීමට ඇරඹුනු ව්‍යාපාරය අද වනතුරු ද ඉතා වැදගත් තත්වයෙක පැවතෙන බව නොරහසෙකි.සංගීතාචාර්යය ඇම්.ජි. පෙරේරා මහතා තමාගේ විශාරද දැනීම නිර්ලෝභීව ශිෂ්‍යයනට දීම නිසා පෙරදිග සංගීතය පිළිබඳව සෑහෙන අවබෝධයක් ගුරු පක්ෂය අතර ඇති බව පෙනෙයි. මග්ගොණ අභ්‍යාස විද්‍යාලයෙහි සංගීතය උගන් වන සමරපාල මහතා ද ශාස්ත්‍රය අතින් හොඳ අවබෝධයක් ඇත්තකු බව දනිමු. මෙබඳු සංගීතාචාර්යයවරයන් නිසා අද සංගීතය පිළිබඳව හොඳ අවබෝධයක් පක්ෂයන් අතර ඇතිවන අතරම මාස ගණනකින් සංගීත ඥානය ලැබූ ස්වර, ඥානය, තාල ඥානය, රාග ඥානය, පිළිබඳව කිසිත් හැඟීමක් නැති සංගීතකරුවන් නිසා ඇතැම් පක්ෂයක් නොමඟ ගොස් තිබෙන බව දැකීම කණගාටුවෙකි. හුදෙක් උදර පොෂණය තකා ශබ්ද වාහිනි තැටියෙක වූ ගීයක් හෝ සිනමා සින්දුවක් හෝ බයිලාවක් හෝ වාදනයට උගැන් වීම ඔවුන්ගේ පංතිවල වැඩ සීමාවය. මෙබඳු ආචාර්යවරයන් අද ගමකින් දුසිම් ගණනින් එකතු කර ගත හැකි බව නොරහසකි.

මෙය විසිවෙනි ශත වර්ෂයය, ලොකය සෑම දෙයකින්ම දියුණුය. එහෙත් අපගේ දුර්වලකම් බොහෝය. දුර්වලකම් පහසුවෙන් හරිගස්සා ගැනීමට මාර්ගය අතළඟම තිබියදී නිදා සිටීම කවර දුර්වලකමෙක්ද? අද ලංකාවේ, පෙරදිග සංගීතය පිළිබඳව මුද්‍රණය වී ඇති ඉතා අගනා පොත් පංතිය පෙරේරා මහතාගේය. ගීත ශික්ෂකය තෘතීය භාගය වැනි පොතක් අපට තවත් බලාපොරොත්තු විය හැකියයි කිය නොහැකිය. පිටු 450 පමණ වූ මෙම විශාල ග්‍රන්ථය ඇති බවවත් ලාංකිකයෝ දනිත්දැයි නොදනිමු. උගතකුගෙන් උවදෙස් ගැනීමට ඇතැම්හු මැලි වෙත්. වැරදි හෝ නිවැරදි හෝ තමන් දත් දෙයම පමණැයි සිතීම යුතුද?

සංගීතයෙහි සීමාව

මංසන්ධියක විකිණෙන කවි කොළයක යමෙකුට කියවා තේරුම් ගැනීමට පාසැලකට ගොස් හත අටට ඉගෙනීම වුවමනා නැත. ශිෂ්‍යයාට උසස් රස විඳීම සඳහා මඟ පුදාදිමය ඉහළ පංතිවල සාහිත්‍යයෙන් අදහස් කෙරෙන්නෙ. මේ නීතිය සංගීතය සම්බන්ධයෙන්ද මෙසේමය. භාරතීය සංගීතඥයින්ගේ දැනීම බොහෝ විට අවුරුදු තිහක හතළිහක පළපුරුද්දෙන් ලද වුවද ඔවුන්ගේ දැනීම ශාස්ත්‍රයෙහි තත්වය හා සැසඳූ කල ඉතා අල්පබව ඔවුහුම කියත්. එහෙත් බොහෝ ලාංකිකයන්ගේ කල්පනාව මීට හාත්පසින්ම වෙනස්. යමකු අවුරුදු තුනක් හතරක්වත් සංගීතය ඉගෙනීම සඳහා හින්දුස්ථානයෙහි ගත කළහොත් ඔවුන්ගේ ප්‍රශ්නය වනුයේ  'ඔතරම්' හැදෑරීමට සංගීතයෙහි කුමක්ද ඇත්තේ' යනුයි. ගීයක් ගැයිමට හෝ වැයීමට හැකි නම් ඒ සංගීතයෙහි සීමාවයයි සමහරකුගේ කල්පනාවය. ඇතැමෙක් සප්ත ස්වරය සංගීත යයි සිතත් නැත ඒ එසේ නොවේ භාට්ඬණ්ඩේ සංගීත විද්‍යාලයෙහි දිනපතා ඉගෙනීම ලබා වුවද සංගීතය පිළිබඳව හැඟීමක් දෙනුයේ අවුරුදු පසකිනි. ඉන්පසු තමන්ගේ උත්සාහයෙන් එය දියුණු කරගත යුතුයි.

ලොකු හානියක්

කිසියම් රාගයකට අයත් ගීයක් ඉගෙනීමට ආශාවක් බොහෝ ලාංකිකයන් අතර දැනට වෙයි.මේ අවස්ථාවෙන්
ප්‍රයෝජන ගැනීමට ඇතැම් පක්ෂයක් අදහස් කළ බව පෙනීයයි. ඒ මෙසේය. ශබ්ද වාහිනි තැටිවල ගීතයන් ප්‍රස්තාර කොට එක එක ගීතයට කිසියම් රාගයක නමක් දී පොතක් වශයෙන් පළකිරීමයි. මේ මුදල් උපයීමේ බලාපොරොත්තුවෙන සිදුවනුයේ ලොකු හානියෙකි. සංගීත රසිකයන් තුළ රාගයන් පිළිබඳව වැරදි හැඟීම හෝ පටලැවිලි සහිත හැඟීමක් හෝ එසේත් නැත්නම් හින්දුස්තානි සංගීතය කිසිම ක්‍රමයකට නීතියකට අනුව නොගිය ශාස්ත්‍රයක්ය යන හැඟීම හෝ ඇතිවනවාට අනුමාන නැත.

පෙරදිග සංගීතයෙහිවිශෙෂත්වය

තවද ලක්දිව දැනට වසංගතයක් මෙන් පවතින සංගීතයෙ. එනම්, කිසියම් ස්වර සමූහයකින් ගොතාගත් ගීතයක් හෝ අපරදිග සංගීතය හා මිශ්‍ර වුවක් හෝ රසකරමින් ගැයීමට පුරුදුව සිටීමයි. පෙරදිග සංගීතයත් අපරදිග සංගීතයත් මිශ්‍ර කිරීම එළ හරකාට මී හරකා ඈඳීම වැන්නෙකි. මන්ද මේ සංගීත ද්විත්වයෙහි ලොකු වෙනසෙකි. පෙරදිග සංගීතයට විශෙෂ වනුයේ රාග (Melody) ක්‍රමයය. නමුත් අපරදිග සංගීතයෙහි ස්වර සම්මිශ්‍රණය (Harmony) ප්‍රධාන ලක්ෂණය වෙයි. පිරිසුදු රාගයෙන් ගායනය කර නා රාගයෙන් නීති අනුගමනය කිරීමට බැඳී සිටියි. එම නීති කඩ කළ හොත් එහි පිරිසුදු රාගයෙක් නොවෙයි. ඉතා සුළු වෙනසෙන් පවා රාගය වෙනස් වෙයි පූර්ව රාගය ගායනයේදී ස රි ග ම / ප ධ නි ස යන ස්වරයන් භාවිත වෙයි. එහෙත් ශුද්ධ මධ්‍යමයද ක්‍රමානුකූලව යෙදීම අමතක කළහොත් අන් රාගයක් එනම් පුරියාධනාශ්‍රී රාගය ප්‍රකාශ විය හැකිය එසේන් නැතහොත් එබඳු අන් රාගයක් ප්‍රකාශ විය හැක. ශුද්ධ මධ්‍යමය (කෝමළ 'ම') භාවිත වුවද පූර්වි රාගයේදී එය භාවිත කළ යුත්තේ කෙසේ දැයි හරිහැටි නොදැන අන් ක්‍රමයකට යෙදුවහොත් එයින් ද අන් රාගයක් එනම් පරශු රාගය හෝ අන් රාගයක් ප්‍රකාශ විය හැක එසේම භූපාලි රාගය සඳහා ගැනෙනුයේ ස රි ග ප ධ ස යන ස්වරය දේශ්කාර් රාගයටද ගැනෙනුයේ මේ ස්වරමය. මේ රාග දෙකේ වෙනස ඇතිවනුයේ වාදී ස්වර වලිනි. භූපාලි රාගයෙහි වාදි ස්වරය ගාන්ධාරය ද, දේශ්කාර්හි ධෛවතයට වෙයි. තවද, සප්තකයකට ප්‍රකෘති විකෘති ස්වර දොළොසෙකි. අපරදිග සංගීතය මේ ස්වර දොළොස අනුගමනය කිරීමට බැඳී තිබෙන නමුත් හින්දුස්ථානි සංගීතය එයට බැඳී නැත. ඇතැම් රාගයක් ගායනයේදී මේ ස්වර දොළොසටම අයත් නොවූ ස්වරයක් ගායනය කිරීමට ගායකයා බැඳි සිටියි. උදාහරණයක් වශයෙන් ශ්‍රී රාගය ගායනයේදී ශුද්ධ ගානධාරය හෝ කෝමළ ගාන්ධාරය හෝ නොව මේ ස්වර දෙක අතර ගාන්ධාරයක් ගැනීම ඒ රාගයේ නීතියය. සර්පිනාවෙහි මේ ස්වර නැත. ඒ භාණ්ඩය පෙරදිග සංගීතයට නොගැලපෙන එක් ප්‍රධාන හේතුවෙකි මේ. හින්දුස්ථානි සංගීතයෙහි ප්‍රධාන වනුයේ සාහිත්‍ය රසය නොව ස්වර රසයයි. එබැවිනි රාග ආලාපනය මෙහි ප්‍රධාන ලක්ෂණය වනුයේ ගායකයා තමාගේ දක්ෂකම් සියල්ල ප්‍රකාශ කරන්නේ ස්වරයන් මගිනි.

තොටිල්ලෙහි නැලවෙන තාලය

ගීතය තාලයක් ආශ්‍රය කෙරෙයි. ගායනය කරණ අතර තාලය හරියාකාර අනුගමනය කිරීම ඉතා අපහසු කරුණෙකි. අභ්‍යාසයෙන්ම ඒ පිළිබඳ පළපුරුද්ද ඇති කරගත යුතුය. ලාංකිකයන් බෝහෝ විට ආශ්‍රය කෙරෙනුයේ තාල දෙකෙකි. එනම් කහර්බා (ධ යි න ති, න ක යිං -) හා දාදරා (ධා ධී නා, නා තී නා) ය. තාලය පිළිබඳ පුහුණුවක් නැත්තකුට වුවද මේ තාලද්වය පහසුවෙන් අනුගමනය කළ හැක තොටිල්ලෙහි නැලවෙන බිළිඳා පිණවීමට මවගේ දෑත තැලෙනුයේද මේ තාල වලටය. ඉතින් අපේ තාලය සංගීතයත් සමඟ මේ තොටිල්ලෙන් ස්වල්පයක් දුරට පා නගනුයේ කවරදාද සදාකාලයටම තොල්ලෙහි හිඳීම ස්වභාව ධර්මයෙක්ද? මුණින් දැමීමත් දණ බඩ ගෑමත් අල්ලා සිටීමත් ක්‍රමයෙන් පසුකොට ඇවිදීමට උත්සාහ කරමු.

ස්වර ඥානය, තාල ඥානය, රාග ඥානය නැති තැන සංගීතයක් නැත. එබැවින් එය පුහුණු කළ යුතුය. පළමුව ස්වරඥානයද තාල ඥානයද හොඳින් පුහුණු කළ යුතුය ඒ පුහුණු කළ යුතු ක්‍රමය අපගේ
මින් පෙර ලිපියෙන් ප්‍රකාශ විය.

ලක්නව්හි භාට්ඛණ්ඩේ සංගීත විද්‍යාලයෙහි
සුනිල් ශාන්ත විසිනි

ලේබල: