Blog entry by Sandika Madushan

Anyone in the world

අපේ සංගීතයට වූ බලවත්ම පාඩුව

මහත්මයාණනි,

ජාතියට මෙහෙයක් කිරීමේ එකම බලාපොරොත්තුවෙන් මුළු ජීවිත කාලයේ අධික වෙහෙස දරා කටයුතු කළ සංගීතාචාර්ය ඇම්. ජී. පෙරේරා මහතාගේ අභාවයෙන් අපට වුයේ කියා නිමකළ නොහැකි පාඩුවෙකි. භාරත මාතාවට විෂ්ණු නාරයන් භාට්ඛණ්ඩේද ලක් මවට ඇම් ජී පෙරේරාද ඇතිවූහ. පෙරදිග සංගීතය සම්බන්ධයෙන් අද ලක්දිව පවතින උනන්දුව පෙරේරා මහතාගේ අධික උත්සාහය නිසාම ඇති වූ බව එකහෙළා පිළිගත යුතුය. එතුමාගේ එකම බලාපොරොත්තුව වූයේ ලක්දිව පෙරදිග සංගීතය නගා සිටුවීමය. සංස්කෘත, හින්දි, මරාටි ආදී භාෂාවන් සෙවාත් සායෙන් ඉගෙන ප්‍රාවීන සංගීත ග්‍රන්ථයෙහි ගැඹුරු තැන්, ගැටලුතැන් තේරුම්ගෙන පැහැදිලි භාෂා

වෙන් ග්‍රන්ථ නිෂ්පාදනය කිරීමෙන් සිදු කළ මෙහෙය පුදුමාකාරය. අධික වෙහෙස දරා නිරාකුල දැනුමක් ලබාගත් පසු 1912 දී ගීත ශික්ෂකයේ ප්‍රථම භාගයත්, 1917 විතීය භාගය 1933 දී තෘතීය භාගයත් සපයන ලදහ. විද්‍යාව සම්බන්ධයෙන් සැපයුනු පොත් තුනෙකි. ගීත සුබොධිනී, සංගීත මධුව, සප්ත ස්වරය ආදී තවත් සංගීත පොත්ද වැනිසියේ වෙළෙන්දා සහ ජුලියට්, ජුලියස්සීසර්, නිමීෂියස් ආදී නාට්‍ය පොත්ද පෙරේරා මහතා විසින් සපයන ලදහ. පෙරේරා මහතා කළේ මුදල් උපයීමක් නම් නොව ජාතිය උදෙසා නොමසුරුව වියදම් කිරීමේකි. එතුමාගේ කාලය ගමන් කළේ සංගීතයත් සමඟ අත්වැල් බැඳගෙනය එතුමාගේ පුස්තකාලය සංගීත පුස්තකාලයකි. එතුමාගේ ගෘහය සප්ත ස්වරයෙන් නිමවූවෙකි. ඇත්තෙන්ම එතුමා සංගීතාචාර්යවරයෙකි සංගීතය නිසාම ඇති වූ එතුමාගේ

ශාන්ත ගති පැවතුම් අවශෙෂයනට ආදර්ශයෝ වූහ. අවාසනාවෙකි. එතුමාගේ උත්සහයේ නියම ප්‍රතිඵල එතුමාට දක්නට නොලැබින එතුමාගේ ව්‍යායාමයෙහි අගය බොහෝ දෙනාට නොවැටහුනි. එහෙත් වාසනාවකට මෙන් එතුමා සෙවනෙහි ඉගෙනීම ලැබුවෝ ලක්දිව වෙත්. ඒ මහතුන්ගේ උත්සහයය දැන් අවශ්‍ය වනුයේ පෙරේරා මහතා යෙදූ අත්තිවාරම ඒ මහතුන්ගේ උත්සාහයෙන් දියුණු විය යුතුය. එතුමා බලාපොරොත්තු වූ ප්‍රතිඵලය කවදා නමුත් ඇති විය යුතුය. ඒ එසේ වනතුරු එතුමාගේ ප්‍රාණයට සැනසීමෙක් නැත. එබැවින් එතුමාගෙන් ඉගෙනීම ලැබූ මහතුනි, සංගීත රසිකයිනි, ඒ අසරණ ප්‍රාණයට සැනසීම දීම සඳහා කටයුතු කිරීමට නැඟී සිටිමු.

මීට,

සුනිල් ශාන්ති.

ලක්නව්හි භාට්ඛණ්ඩේ

සංගීත විද්‍යාලයේදීය.

1942/05/25

Tags: