Blog entry by Sandika Madushan

ලෝකයේ සිටින ඕනෑම කෙනෙකු
Sandika Madushan
Sandika Madushan - බ්‍රහස්පතින්දා, 15 ජනවාරි 2026, 1:04 AM

අපේ සංගීතයේ මුල් අඩිය.
සංගීත් විශාරද සුනිල් ශාන්ති විසිනි.


එදා පටන් අද වන තෙක් පරයින් ගේ උණුහුම පතා සිටින හෙළයා තුළ කවර දා නම් තම උණුහුමෙක් උපදීද? කෙනෙකු උපදිනවා. ලැබුණු දෙයක් කනවා. ලගිනවා මිය යනවා. තව තෙනෙකු උපදිනවා. කවුරුන් මරා හෝ තමන් හැදෙනවා, රට කොටවනවා, මරාගෙන මැරෙනවා. දස දිගින් ඇසෙන්නේ නම් රට රකිවු. දැය රකි වූ, බස රකිව් යන හඬය. එහෙත් ඒ එකකුදු රැකුණු බව තබා රැකෙන ලකුණකුදු පෙනෙන තෙක් මානයේ නැති.

ජාතියෙක දියුණුවේ තරම මනින එක් මිම්මක් නම් ඒ රටේ සංගීතයයි. දැන් මැන බලමු ටිකක්, අපේ තරම ඒ මිම්මෙන්..........මිම්මට ඉවසිලි නැති. ඒ පුපුරන්නට බලයි. උතුරා යයි..........ගුවන් විදුලි සංගීතය, ශබ්ද වාහිනි සංගීතය, සිනිමා සංගීතය, පාඨශාලා සංගීතය, විශ්ව විද්‍යාලයයේ සංගීතය, දේව මන්දිරයේ සංගීතය, තේ පැන් සැලෙහි ද සංගීතය, බස් නැවතුම් පොළෙහි ද සංගීතය, මඟ දෙපසත් සංගීතය, දියෙත් ගොඩත් අහසෙත් සංගීතය, දස දෙස ම සංගීතය ! සංගීතය ! සංගීතය ! මේ සියල්ල එක මිම්මෙකින් කෙසේ මනිමුද - ? මව ගේ නැළැවිලි ගීයට බිළිඳා කන් යොමා සිටියි. නයි පනික්කියාගේ නළාවෙන් පිටවන මිහිරි හඬට දරුණු නයා ද වසඟවෙයි. ගවයා ගේ ගෙලෙහි බැඳෙන ගිගිරි වැලේ හඬ නිසා හේ අමුතු පණක් ලබයි. අශ්වයා ද ළය නො වරදවා කුර හඬ නඟන්නේ මහත් ආඩම්බරයෙකිනි. ලේනාගේ මිහිරි ගීයට තාලය දෙන්නේ උගේ වලගයි. කොවුලා උදේ සවස ශබ්ද නගා ගයන්නේ ස්වර සප්තකයය. සොබා දහම මෙ ලෙසින් ලොව පුරා සංගීතය පතුරුවන අතර සිහි මොලය ඇති සතකු වූ හෙළයා ඉන් කෙසේ වැලැ කෙයිද? එ බැවිනි, හෙළයා අවට ද එ තරම් සංගීතය පවතින්නේ. ඒ සංගීතය හුදෙක් සොබා දහම නිසා ම ඇති වූවෙකි. ඔහු ගේ ශක්තියෙන් නිපදවාගත් දෙයෙක් නො වේ. ඉතින් කෙසේද සංගීතය මිම්මක් කොට හෙළයාගේ දියුණුව මනින්නේ?

අපට සංගීතයක් නො තිබුණා නො වේ. පරයනට ගුරුකම් දෙන්නට තරම් උසස් තත්වයෙක අපේ සංගීතය පැවැතිණි. අපේ මහරජ වූ රාවණයන් සංගීතයෙහි අති සමතකු බවත් රාවණා වීණා නමින් වූ වීණාවක් ඔවුන්
විසින්ම නිපදවන ලද බවත් කියති. විජයයන් ලකට බඩ ගෑ කාලයේ සිරිවත් පුරයේ උත්සවයන් පැවැතුනේ පරයින්ගෙන් උගත් සංගීතයෙන්ද? නැත. අපේ හෙළ මවගේ සිරිය දැක පරයින් මෙහි ඇදෙන්නට පටන් ගත් පසු පර ගැති බවට උපන් හෙළයා තමන්ගේ දේ අකුලේ ගසා අනුන්ගේ දේ හිස මුදුනෙන් පිළිගෙන අද වන තුරු පර ගැතියකු වැ සිටියි. අයෙක් යුරෝපීය සංගීතය තමන්ගේ සංගීතය හැටියට සලකති. අයෙක් ඉන්දියානු සංගීතය තමන්ගේ හැටියට හිස මුදුනෙන් පිළිගෙන වැඳුම් පිඳුම් දෙති. තමන් ගේ බස වළං දොරට දක්කා දමා අනුන් ගේ බසක් මව් බස කරගන්නට තරම් එඩිතර වූ සී-හෙළයා අතින් මෙ බඳු දේ සිදු වීම පුදුමයෙක් ද?

අපි ඉංගිරිසි පමණක් නොව ප්‍රංස, ජර්මන්, උර්දු, හින්දි, ග්‍රීක්, ලතින් ආදී හැම බසක්ම උගනිමු. එහෙත් ඒ එකකු දූ අපේ බස නොවේ. එමෙන්ම අපි යුරෝපීය සංගීතය උගනිමු. හින්දුස්තානි සංගීතය ද උගනිමු. හැකි නම් අන් හැම සංගීතයක්ම උගනිමු එහෙත් ඒ එකකු දූ අපේ නොවේ. අපේ නොවන දෙයකට අපි කුමට මුල් තැන දෙමුද? කුමට හිස මුදුනෙන් පිළිගනිමු ද? කුමට ගැති වමුද? ගනිමු අපේ දේ ඉදිරියට. අපේ දෙයක් නැත් නම් නිපදවමු එකක්.

අන් සෑම ජාතියකටම ඔවුන්ගේ ය යි කියා ආඩම්බර විය හැකි සංගීත ක්‍රමයෙක් තිබේ. යුරෝපීය සංගීතයෙත්, ඉන්දියානු සංගීතයෙන් වෙනස එක වරම අපට දැනේ. උතුරු ඉන්දියානු සංගීතයෙත්, දකුණු ඉන්දියානු සංගීතයෙන් වෙනස ද අපාසුවක් නැතිව දැනගත හැකි. බෙංගාලයේ සංගීතය කවර ක්‍රමයෙක එකක් දැයි වංග ගී අසා ඇත්තෝ දනිති. නැගෙනහිර බෙංගාලයේ තවත් විශෙෂ වූවෙකි. මුස්ලිම් ජාතිකයන් අතර මීට හාත්පසින්ම වෙනස් සංගීතයෙක් පවතී. හවායි දූවේ සංගීතය ඉහත කී සෑම එකකටම වඩා වෙනස් වූවෙකි. ජපනුන් ගේ අනෙකෙකි. අරාබීන්ගේ තවත් ක්‍රමයෙකි. මේ ලෙසින් සෑම ජාතියෙකම සංගීතය ඇසු පමණින් අපට හඳුනාගත හැකි. එහෙත් අපේ - ? අපි අනුන්ගේ දේ බලා ඇස් උඩ ඉඳුවා තොල කට ලෙව කා, ආ වඩා, පසඟ පිහිටුවා වැඳ ඊට ගැති වමු. නිහීන කමෙක මහත!

සෑම දේකටම පටන් ගැන්මෙක් තිබේ. සෑම ජාතියකටම අයත් සංගීතයන් ක්‍රමයෙන් හැඩ ගැසී තිබේ. එකවර කිසිවක් ඇති නො වේ. නවීන කාලයට ගැලපෙන සංගීතයක් අපට නැති. එය හැඩ ගසා ගත යුතු වැ තිබේ. අන් සෑම ජාතීන්න්ම රස කරමින් ගයන්නේ ඔවුන් ගේ ගීය. අපට ද එ බඳු ගී අපමණ තිබේ. ඒවා පොතට පමණක් සීමා වැ පවතී. ගනිමු ඒවා එළියට. ගයමු මිහිරට. මෙයයි අපේ සංගීතයේ මුල් අඩිය.

මග්ගොන අභ්‍යාස විද්‍යාලයය
ස්වර්ණජයන්ති සංග්‍රහය

ලේබල: