Sandika Madushan படி Blog பதிவு

உலகிலுள்ள யாராவது
Sandika Madushan
Sandika Madushan - புதன், 7 ஜனவரி 2026, 8:27 PM

පරගැති සංගීතය
*

සුනිල් සාන්තයන් විසිනි.

සුබස
(5 වැනි වෙළුම)

පමණ ඉක්මවා අනුන් ගේ දේට ආ වැඩීමට හෙළයා පුරුදු වැ සිටියි. ආ වඩා එයින් මැ මත් වී එයට මැ දස් වීමට එයටත් වඩා පුරුදු වැ සිටියි. රාවණයන් හැඩි දැඩි නපුරකු ලෙස පරයන් සලකන නිසා හෙළයා ද උඩ බිම නො බලා එයට මැ අනුව ඔවුනට අනුබල දෙයි. 'ඇපල්' ගෙඩියක් දුටු කාලයක් මතක නැතැ'යි කියමින් උඩු. මහල් තලයන්හි කඳුළු හෙළන්නන් ගේ පයට පෑගෙන්නේ බොහෝ විටැ අපේ අසරණ අඹ දඹ යැ. හොඹු වක් වී නැවී එබී-ගිය පර බල්ලන් ලගින්නේ මොවුන් ගේ තුරුල්ලේ හෝ විලූ ද කොට්ටයක් මතැ යැ. පර බසක් කට ගා-ගත් පමණින් තම බස මුළු තැන් ගෙට දක්කා ගාල් කිරීමට ඇතැම්හු මාන බලති. ලොවේ ඇති තාක් පරයන් අනුගමනය කළ නිසා, රාවණයන් ගේ කාලයේ ලොව'ගැ බැබැළුණ හෙළ සගයුවට කිමෙකින් කුමක් වුණා දැයි අද නො තේරෙන තරම් තමන් ගේ දේට අකුල් හෙළා අනුන්ගේ දේ හිස මුදුනින් පිළිගැනීමෙන් මෙ සේ පර ගැතියෙක් වෙයි හෙළයා !

විජයයන් ලකට බඩ-ගෑ දිනැ සිරිවත් පුරයේ මඟුල් පැවත්ත්වුණේ පරයන්ගෙන් අහිඳැ-ගත් සංගීතයේ වහලින් නොවේ. එහෙත් පසු කලෙකැ දෙමළුන් ගේ පැමිණීම නිසා අපේ සංගීතයට දෙමළ රුව එක් වන්නට වියැ. ඉන් පසු පරංගීහු පැමිණියහ. ඔහු අමුතු පිළිවෙළෙකැ සංගීතයක් පළ කළහ. ලංසින් ගේ පැමිණීම නිසා පරංගියා දැමූ පදනම සවි වියැ. ඉන් පසු ඉංගිරිසිහු පැමිණිය හ. ඔවුන් නිසා රට පුරා අපර දිග සංගීතය පැතිරිණි. ඉන්දියානු රස්නය කෙමෙන් වැඩි වන්නට පටන් ගත් විටැ කන්නඩි සංගීතයන් හින්දුස්තාන සංගීතයත් ලකට ගලා එන්නට පටන් ගති. දිගු කලක් පැළ දිගට ගැති වැ සිටැ විඩා පත් වූ හෙළසා දැන් අමුතු අතකට ගැති බවක් පායි. ඒ නිසා ගැති වෙයි, පෙරදිග අසල් වැසියාට. දුර සිටින්නකුට ගැති වුවද අසල් වැසියාට ගැති වුවද ගැත්තා නම් ගැත්තා මැ යි. සිය සවියෙන් යමක් නිපදවන්නට බැරි අඩියෙකැ සිටින තෙක් පර ගැති හෙළයාගේ තරම් මෙසේ මැ පවතියි. හොඳ දෙයකට ගරු කිරීම හැදුණු ගතියෙකි. එහෙත් ගරු කිරීම් වෙනුවට ගැති වීම නිහීන කමෙකි. 'ෂෙක් සපියර, රවිඳු නත තකුර වැනි උසස් කිවියන් නො පසසන්නෝ කවරහු ද? එ සේ මැ මිහිරි සංගීතයක් කනෙහි වැටුණු විටැ කන්වලට අගුල් ලන්නෝ කවරහු ද පැළ දිගැ වේවා, පෙරදිගැ වේවා ගරු කළ යුත්තා හෝ ගරු කළ යුතු දේ හෝ ගරු කළ යුතු මැයි. පැසැසියැ යුත්තා හෝ පැසැසියැ යුතු දේ හෝ පැසැසියැ යුතු මැයි. අපරදිග සංගීතය ඉතා සියුම් ලෙස හැඩ ගැසුණෙකි. අපි ඒ උගනිමු. ඒ ගයමු; වයමු; රස විඳිමු. එහෙත් ඒ අපේ කලාවෙක් නොවේ. එසේ මැ ඉන්දියානු සංගීතය ද මනා ලෙස හැඩ ගැසුණෙකි. එ ද අපි උගනිමු, ගයමු, වයමු. රස විඳිමු. ගරු කරමු. එහෙත් එ ද අපේ නොවේ. අපි ඉංගිරිසිය උගනිමු. ලතිනය උගනිමු. පරංස ජරමන්, ගිරීක්, දෙමළ, උරුදු, හින්දි ඈ හැම බසින් මැ උගනිමු. එහෙත් ඒ එකෙකුදු අපේ නොවේ. එසේ නම් කෝ අපේ දේ? ඒ යෙයි වළ පල්ලට. අහෝ! ගැති බවෙකැ මහත!

පෙර දිග සග යුව ඉගැනීමට යැයි අද බොහෝ දෙනා දඹ දිව් යෙති. මේ සේ අවට ලොවැ දියුණුවේ තරම් දැනැ ගැනීම තමන්ගේ අඩු පාඩු කම් හරි ගස්සා ගැනීමට පිහිට වෙයි. එහෙත් තමන් ගේ අඩු පාඩු කම් හරි ගස්සා ගැනීම පසෙකැ තිබියැ දී අනුනට එකතු වී තමනට මැ වළ කපන්නට පටන් ගත හොත් කෙළවරැ කිමෙකින් කිමෙක් වේ දැයි කාට කියැ හැකිද? හැදෑරීම් සඳහා එංගලන්තයට ගිය ඇතැමුන් ආ පසු ආයේ කළු ඉංගිරිසින් බවට පෙරැළි ගෙනැ යැ. එ බන්දන් ගෙන් දෙසට රැසට බසට සිදු වූමෙහෙය කිම? එසේ මැ දැන් අප දඹ දිව් ගොස් එහි ගති පැවැතුම්, සිරිත් විරිත් කලාවන් ඈ ඉගෙනැ ඒ එ ලෙස මැ අපේ හෙළ දිවේ පතුරුවන්නට පටන් ගත හොත් හෙළ දැයට යන කල කිමෙක්ද? අපට සංගීත යක් නැති නිසා අපි අනුන් පස්සේ යමු.
බසක් නැති නිසා අනුන් පස්සේ යමු. ඇඳුමක් නැති නිසා අනුන් පස්සේ යමු. අන් සෑම දෙයක් මැ නැති නිසා අනුන් පස්සේ මීට වඩා පර ගැති බවෙක් තවත් ඇද්ද! නැති නම් ඇති කැරැ ගන්නා සැටි නොසිතා සදාට මැ අනුන් පස්සේ හිඟා කා ඇවිදීම තරම් පරගැති බවෙක් ඇද්ද! "හිඟා කෑම බැරි වුණු තැනැ ලගී ගයා මර ගී."

අද අපේ හෙළ සගයුව ඉන්දියානු තැටි ගීයට හිමි වැ පවතී. තැටි ගීයෙහි තනුව පමණක් නො වැ වදන් ද ඇදැ-ගෙනැ බස කෙලෙසා වියරණ මරා අදහසක් නැති ගී බැඳැගන්නා තරම් දුබල අඩියකට අපේ 'සංගීතය' වැටිණ. අන් සෑම ජාතියක් මැ තමන්ගේ මිහිරි ගී, කවි ආදිය සංගීතය හා මුසු කොටැ ගයමින් සාහිත්‍ය රසය හා සංගීත රසය විඳින්නට මග හදාගෙන සිටින අතරැ අපේ හෙළ කවීන්ගේ පැබැඳුම්, පොතට පමණක් හිමි වෙයි. හෙළ ගී මිහිරට ගයා අසන්නන් කුල් මත් කරන්නට තරම් හැකියාවක් අපේ ගයුවනට නැති වීම ලොකු අඩුවකි. තනුව අනුවැ අදහස යෙදේද? අදහස අනුවැ තනුව යෙදේ ද යනු තව මැත් ඔවුනට විසඳා ගත නො හැකි වැ ඇති මුල් වනුයේ පැබැඳුමයි. එහි අදහස අනුවැ තනුව යෙදෙයි. එහෙත් අප අතරැ පැතිරැ පවත්නේ එහි ඉදිරි පැත්ත යි. තනුව ඇසූ පමණින් අසවල් ජාතිකයා ගේ සංගීතය යැයි හඳුනා ගත හැකි පරිදි සෑම සංගීතයක් මැ හැඩ ගැසී පවතී. යුරෝපා සංගීතය එක වරැ මැ අපට හඳුනා ගත හැකි යැ. හවායි දූවේ සංගීතය අමුතු මැ එකෙකි. ජපනුන්ගේ තවත් පිළිවෙළෙකි. ඉන්දියානු කන්නඩි සංගීතයේ ද හින්දුස්තාන සංගීතයේද ලොකු වෙනසෙකි. වංග සංගීතය මේ සියල්ලට මැ වෙනසි. මෙ ලෙසින් එක එක ජාතිකයාට වෙසෙස් වූසංගීතයන් ලොවැ පහළ වැ පවත්නා අතරැ පර ගැති හෙළයා අනුන් පස්සේ ගොස් හිඟා-ගත් දෙයින් හත් මාළුවක් තැනීමට පුරුදු වැ සිටියි. අහෝ, මේ ගැති කම කවර දා කෙළවර වේද !

කොල්ලුපිටියේ,
ගාලු පාරේ,
271 වැනි තන්හි දී යැ.

சீட்டுகள்: