Sandika Madushan
Blog entry by Sandika Madushan


සිළුමිණ වර්ෂ 1946 ක්වූ ඔක්තෝබර් මස 27 වෙනි ඉරිදා
රැඟුම කලාවක් මෙන්ම ශිෂ්ට රක්‍ෂාවකි.
ඉන්දියානු නාට්‍ය ශිල්පයේ ප්‍රභවය සොයන්නෙකු විසින් කාලය නමැති මිහිදුම් පටලය අවුස්සා බැලිය යුතුය. දේව කථා වලින්ද ජන ශ්‍රැතියෙන්ද කියවෙන්නේ එය භාරත මුනිවරයා විසින් දෙවියන් ගෙන් උගත් බවයි. එවක් පටන් විකසනය වෙමින් ආ එම නාට්‍ය ශිල්පය පුරාණ අසම්පුර්ණ විහිළු තහලු විගඩම් ලක්ෂණ හැර දමා අත් පා චලනාදී ලලිත රූපකායකින් සමන්විත අමුතු අපූර්ව වෙසක් ප්‍රකාශ කරන සුන්දර ශිල්පයක් බවට හැරුණේය. උතුම් පිරිසිදු අදහස්ද ඓතිහාසික සිද්ධින් ද සියුම් ගැඟීම් සහ පරමාර්ථයන්ද ප්‍රකාශ කිරීමට ඉන් පසු මේ ශිල්පය යානයක් කර ගන්නා ලදී. මෙසේ දෙවියන්ට පවා ප්‍රිය වූ මේ ශිල්පය විපරීනාම ධර්මය අනුව අභාවයට ගොස්තිබී යළි නැවත දියුණු වේගන එන්නේය.
නාට්‍ය ශිල්පය දියුණුකිරීමෙහි ලා මෙකල පුරෝගාමීව සිටින ලෝක ප්‍රසිද්ධ නළු නිළියන් අතර උදය ශංඛර සදෝනා බෝස්, රාම් ගෝපල් ආදීහු ප්‍රමුඛ ස්ථානය ගනිති. අංග ලාලිත්‍යය, චාරුත්ත්වය, මාධුර්යය ගුණය, ප්‍රකාශක ශක්තිය යන මේ ගුණාංග විසින් බටහිර නාට්‍ය කලාවට වඩා කිහිපා කාරයකින්ම ශ්‍රෙෂ්ඨත්වයෙහි ලා සැලකිය යුතු පෙරදිග නාට්‍ය ශිල්පය මෙකල ලංකාවෙහි ද අමුතු හැඟීම් ඇති කරමින් පුනරුත්ථානයට පත්වේගන එන්නේය. පෙරදිග කලා ශිල්පය අතින් උද්‍යොග සම්පන්න අභිනව කාල පරිච්ඡෙදයක් උදාකරවීමෙහි පුරෝගාමිවුවන් අතර අභාවප්‍රාප්ත චන්ද්‍රලේඛා, ශාන්ති කුමාර, සූර්යය ශාන්ති, පති භාරත, වසන්ත කුමාර සහ චිත්‍රසේන ආදි සිංහල ශිල්පීහු ප්‍රමුඛස්ථානයක් ගනිති.
ඉන්දියානු සහ සිංහල උසස් නාට්‍ය ශිල්පයෙන්ද ලද හැකි පරිමෝහය, චිත්තාහ්ලාදය සහ උද්වේගයද ඉබේටම වටහා ගැනීමට හා සිතා මතා ගැනීමට ද හැකි පරිදි අද අපි අපේ පාඨකයින් චිත්‍ර සේනගේ චිත්‍රාගාරයට කැඳවාගෙන යාමට අදහස් කරමු. කලාවක් වශයෙන් උත්තරීතර වෘත්තියකට පදනම් දැමීමට නාට්‍ය ශිල්පයට පුළුවන්කම තිබේ. ශිල්පයක් වශයෙන් නැටීමෙහි අවනම්බුවක් හෝ අවිනීත භාවයක් හෝ
දක්නා නොලැබේ. එය වූ කල මුදල් ඉපදවිය හැකි උතුම් කලාවකි. මුදල් ඉපදවිය හැකි උතුම් ශිල්පයකි. තමන්ටම විෂය වූ පුද්ගල
භාවය ප්‍රකාශ කිරීමටද, ස්වකීය නළු ජීවිතය පිළිබඳ විවිධ අවස්ථා වලදී උසුලන්නට සිදු වූ වියහිය දිම් නැවත පොලී ඇතිව ලබා ගැනීමට ද මේ ශිල්පයෙන් විශාල ඉඩ ප්‍රස්තා කිසිවකුට සලසන්නේය.
උසස් සම්ප්‍රදායයන් ඇති උසස් අන්දමට දියුණු වූ මේ වැදගත ශ්‍රෙෂ්ඨ ශිල්පය. ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් පෙරදිග කාන්තා පක්ෂයට වඩා සුදුස්සෝ මේ මුළු ලෝකයෙහිම නැතිය. පෙර දිගටම හිමි වූ ලක්ෂණ ද ලෙහෙසියෙන් පහසු වෙන් හැරී නැමී ගතහැකි පෙරදිග වාසීන්ටම විශෙෂ වූ කායද උත්පාදක ශක්තිය ඇති කලා කාමීයකුගේ සිතට නළංගුවන පරිදි විදුලිමය වූ වේගයකින් හා නොවරදින සුළු බවකින්ද යුතුව අනුකූල වනු ඇත. "ඉන්දියානු නාට්‍ය ශිල්පය සම්බන්ධයෙන් උපන් ගෙයි හුරු කමක් මට ඇති බැව් හැඟේ. මේ ශිල්පය බාල වියෙහිදීම ප්‍රගුණ කළ යුතු යයි කියන හෙයින් කුඩා වියෙහිදී එය මට ඉගැන්නුවා නම් කොතරම් අගේද " යන ආදි අප මිතුරන් විසින් කියන කථා අපට නොයෙක් වර ඇසී තිබේ.
අපි මිත්‍රසේනගේ නාට්‍යාගාරයට ගොස් මේ කියමනේ සත්‍ය භාවය තරමක් දුරට වත් පිරික්සා බලමු. එය තිබෙන්නේ කොල්ලුපිටියේය.අපි එහි යන ගමන් ඔහු පිළිබඳ කරුණු හැකිතාක් අනුස්මරණය කරමු.
"විධුර නාට්‍යය ගොතා 1943 අවුරුද්දේ කොළඹ නගර ශාලාවේදී ඔහු විසින් රඟ දැක්වූවා නොවේද"? යි අප පිරිස අතරෙහි සිටි කෙනෙක් ඇසීය.
"ඔව් එය රඟ දැක්වූයේ ඒ නැට්ටුවා විසිනි. පසුගිය අවුරුද්දේ දිල්ලි නුවර පැවැත් වූ සමස්ත ඉන්දියා නාට්‍යෝත්සවයෙහිදී ඔහු ප්‍රශංසාර්හ අන්දමට නැටු බැව් පුවත් පත් වලින් කියවන්නට ලැබුණේ " යයි තවෙකෙක් කීය.
"කල්කටාවේ පැවැත් වූ රැඟුමකදී තමාට ඒ සම්බන්ධයෙන් හවුල් වන ලෙස තාගෝර් මහ කිවිවරයාගේ මිනිබිරිය වූ නන්දිත ත්‍රිපලානි ඔහුට ආරාධනය කළ බැව්මට මතක යයි " තුන්වෙනියා කීය. විදේශිකයන් විසින් මේ තරම් ගරු බුහුමන් කර තිබීම නිසා ලංකාවේ අපේ නාට්‍ය ශිල්පීන් සම්බන්ධයෙන් ආඩම්බර විය යුතු නොවේ ද?
"ඇත්තෙන්ම එය ආඩම්බර වීමට කරුණකි. උඩරට නාට්‍ය සම්ප්‍රදාය ඔහු විසින් අලගම කිරි ගණිතයා වෙතින් ද කත කාලි නාට්‍යය ට්‍රැවන්කෝර් රාජ සභාවේ ශිල්පියා වන සිරි ගෝපිනාථ වෙතින්ද ප්‍රගුණ කළ බැව් සිතමි."
"ඔහු ශාන්ති නිකේතනයට ද ඇල් මෝරාවේ උදය ශංඛරගේ කලා ශිල්පායතනයට ද ගිය බැව් දිනක් කවුදෝ කෙනෙක් මා සමඟ කීය. "
"ඔහුගේ මේ නාට්‍යාගාරය නැරඹීමට මා තුළ තද ආශාවක් තිබේ.පෙරදිග නැටුම්වලට මම හැම විටම කැමතිය."
දැන් අපි ඒ නාට්‍යාගාරයට ගොස් සිටිමු. එය අවට වාතාවරණය ඉතාමත් සුව පහසු එළවන බැව් පෙනේ. එහෙත් එයට අලුත් සුණු පිරියමක් ළඟදීම ඕනෑ කරන බැලූ බැල්මට පෙනේ. එහෙත් එය එතරම් ලොකු කාරණයක් නොවන්නේ නාට්‍යාගාරය විවෘත කොට තවම මාස දෙකක්වත් ගත නොවූ බැව් සලකන විටය.
අප පෝටිකෝවට පා තබද්දී උද්‍යෝගවත් බෙර හඬක් ඇසිණ. මහුගේ කාර්ය මණ්ඩලයේ කෙනෙකු විසින් අප පිළිගන්නා ලදුව කෙළින්ම නාට්‍යාගාරය වෙත කැඳවාගෙන යනු ලැබීය. ඒ වේලාවේ චිත්‍රසේන ඔහුගේ නාට්‍ය කණ්ඩායමේ සයදෙනකුට "අස්වැන්න නෙළීමේ නැටුමේ' නාට්‍ය විලාස පුහුණු කරවමින් සිටියේය.
කාමරයේ එක් කෙළවරක පනවා තිබුණ කවිච්චියක අසුන් ගත් අපි පාඩම අවසන් වන තුරු ඉවසිල්ලෙන් බලා සිටියෙමු. ශිල්පියාත් ඔහුගේ සංගීතඥයනුත් පිළිබඳ කිසියම් අවබෝධයක් ඇතිකර ගැනීමට මෙය අපට හොඳ ප්‍රස්තාවක්විය. නාට්‍යාගාරයක් වශයෙන් කාමරය කුඩා වන නමුදු එය විසිතුරු ලෙස සරසා තිබුණේය. අප ඉදිරියෙහි වුයේ නටරාජ දෙවිඳුගේ රූපයකි. එයට ඉක්බිතිව ඉඩ කඩ ඇති මණ්ඩපයෙහි සංගීතඥයෝ ස්වකීය සංගීත භාණ්ඩ රැගෙන සිටියාහ. කාමරයෙහි ප්‍රතිවිරුද්ධ කොන් සතරෙහි නාට්‍ය විලාස දැක්වෙන විශාල චිත්‍ර කිහිපයක් වූහ. ශාන්ති නිකේතනයේ ඉන්දියානු තිර රෙදි යුග්මයක්ද ඉන්දියානු බුමුතුරුණුද, තවත් විසිතුරු කවිච්චියක්ද වූහ. මේ සියල්ලෙන්ම පෙරදිශ වාතාවරණය මොනවට ප්‍රකාශ විය. කාමරය තුළ කණ්ණාඩි ආදියක් නොවීය. සමහරවිට එය යුද්ධ කාලය පිළිබඳ තත්ත්වයන් නිසා යයි සිතිය හැක. පාර්ශවයක වූ බිහි දොරකින් පිවිසෙන කාමරයක්ද විය. නැට්ටුවෙකුට මුවමනා වන සියලුම උපකරණ එහි වූහ.
අප මිත්‍ර සේන මුණගැසුණේ මෙහිදීය. සිහින් කාල වර්ණ දේහයක් ඇති නව යොවුන් වියෙහි සිටින පුද්ගලයෙකි ඔහු. තියුණු සුරුබහුටි මුහුණක් ද ඊටම සරිලන තීක්ෂණ ඇති සඟලක් ද ඔහුට ඇත්තේය. උරහිස තෙක් වැටෙන සේ කැපු කෙස් කළඹක්ද ඔහුට ඇත්තේය. මේ වෙලාව වන විට නැටුම නතර කරනු ලැබ සංගීතඥයන්ද අස්වැසිල්ලක් ලබා සිටි හෙයින් සාමාන්‍ය පියස්වභාව උද්වහනය කෙළේය. ඔහු නොවුන් ප්‍රිය කථාසල්ලාපයෙහි යෙදෙන්නට වූයේ මේ අවස්ථාවෙහිය. හැඳින ගැනීම ආදිය අව
සන් වූ පසු චිත්‍ර සේන මදවේලාවකට අප කෙරෙන් ඈත් විය. ඒ අතරතුර නාට්‍ය කණ්ඩායම් චිත්‍ර ශිල්පියා වන ටී සී ඇම් ද සිල්වා මහතා අපිට ප්‍රිය වචනයෙන් සංග්‍රහ කෙළේය. නැට්ටුවන් හඳින කාර්ඩ් බෝර්ඩ් ආභරණ නිෂ්පාදනය කරන්නේ ඔහු විසිනි. ඔහු වනාහි පෙරේරා මහතාගේ ශිෂ්‍යයෙකි. 1943 විධුර නාට්‍යය ප්‍රතිසංස්කරණය කොට ළඟදිම නගර ශාලාවෙහි රඟ දැක්වීමට චිත්‍ර සේන අදහස් කරන බැව් ඔහු අප සමඟ කීය. තම කණ්ඩායමට අයත් අලුත් ශිල්පින් කිහිපදෙනෙකු ඉදිරිපත් කිරීමටද අදහස්කර සිටින බැව් කියන ලදී.
'අර දොර ළඟ සිටින කාන්තාව ඔබට පෙනෙනවාද? ඇය අප වෙතට පැමිණ දැනට මාස එකහමාරක් පමණ කල් වෙයි. ඇයට පෙරදිග නැටුම් සම්බන්ධයෙන් කිසි පලපුරුද්දක්ද නොවීය. ඒ වනාහි ප්‍රේමිලාය. දිනපතාම චිත්‍රසේන
විසින් ඇයට දෙපැයක් පාඩම් කියා දෙනු ලැබේ. මධුර නාට්‍යයේ කථානායිකාව වශයෙන් පෙනී සිටීමට තරම් වන පුහුණුවක් දැනට ප්‍රේමිලාට ලැබී තිබේ'.
අපි මවිතයෙන් මෙන් දොර දෙසට අපේ තෙත් බමරුන් විහිදවීමු. ශොභන පෙනුමක් ඇති සිහින් දේහධාරි තරුණියක් පළපුරුදු දක්ෂ කලාකාරියකගේ හැඩ හුරුකර ගත් තවත් තරුණියක් සමග ප්‍රිය කථා සල්ලාපයෙහියෙදී සිටියාය. රූප ලේඛා පැමිණ දැනට දෙමසකට වැඩි නොවේ. එවකට ඇයටද නැටීම සම්බන්ධයෙන් කිසිම පුහුණුවක් නොවීය. ඇයටද දිනපතා දෙපැය බැගින් ශිල්ප පුහුණුවක් ලබා දෙන ලදී. ඉදිරියට එන රැඟු මෙහිදී ඔහු ගංගානාථ සමග රඟපානවා ඇත.
මේ වෙලාව වන විට යළිත් චිත්‍රසේන අපට එක්විය.
නාට්‍ය ශිල්පය මුහුකුරා ගිය වයසේදී පුහුණු කළ හැකිද නොඑසේ නම් කුඩා වියෙහිදීම ප්‍රගුණ කළ යුතුද?
'කොයි කවර ශිල්පයක් නමුත් ලෙහෙසියෙන් පුහුණු කළ හැක්කේ කුඩා වියෙහිදීය. නාට්‍ය ශිල්පය සම්බන්ධයෙන්ද කියයුතු වන්නේ එයමය. එහෙත් වැඩිපුර උත්සාහයක් ඇතිව විසි වයස හෝ තිස් වයස පිරී සිටින කෙනෙකුට වුවද කෘතහස්ත නාට්‍ය ශිල්පියෙකු වන්නට බැරි නොවේ. මේ වනාහි චිත්‍ර සේන විසින් සිනාමුසු මුහුණින් යුතුව කළ ප්‍රකාශයෙකි. 'ඉතින් ඉදිරියට ඇති නාට්‍යොතත්සවය සම්බන්ධයෙන් තවත් ස්වල්ප විස්තරයක් කරන්නයයි' අපේ පිරිසේ සිටි කෙනෙක් ආරාධනය කෙළේය. 'එසේ නම් කියමි; සැරසිලි ආදිය චිත්‍ර ශිල්පඥ සිස්ටැන්ලි අබේසිංහ විසින්ද, නෘත්‍ය මණ්ඩපයේ පරිපාලනය, ඇස් සන්මුගනාදන් විසින්ද, අනුලා විසින් සින්දු කිහිපයක්ද සංගීතය ආනන්ද සමරකෝන් විසින් ද කරනු ඇත. මා විසින් එක් අලුත් නැටුමක්ද මාගේ ශිෂ්‍යයන් විසින් තවත් බොහෝ නැටුම්ද දක්වනු ඇත. මේ වෙලාවේ නෘත්‍ය කණ්ඩායමේ සංගීත අධ්‍යක්ෂක සුනිල් ශාන්ති වීණා වාදකයා සමඟ අලුත් තාලයක් පුහුණුවෙමින් සිටියේය. 'සංගීතයකට කන් දීමට ඔබ කැමතිදැයි චිත්‍ර සේන අපෙන් ඇසුවේ මේ වෙලාවේදීය. අපි උද්‍යොගශීලි අන්දමට හිස වනා සතුට ප්‍රකාශ කෙළෙමු. හෙමිහිට නැගී ආ ගීත රසය සිංහල සිංදුවකින් විකසනය වෙමින් අපේ සිත් පුබුදු කරන්නට විය.
අපි චිත්‍ර සේනගේ සොහොයුරු ශරත් සමගද කුලුපග වීමු. ඕනෑම සංගීත භාණ්ඩයකින් ගීත රස වැගිරවීමට ඔහුට පුළුවන් යයි චිත්‍ර සේන අපට කීවේ මහත් ගෞරවයකිනි ඔබ තමාගේ සියලු නැටුම් වලට සහභාගිවන්නේයයිද ඔහු නැතිව තමාට කොතානකදිවත් රඟපෑමට නොහැකියයිද චිත්‍රසේන ශරත් දෙස ආදර බැල්මක් හෙළා පැවසුවේය. තාට්‍යාගාරයෙහි වූ බෙර වලින් සමහරක් ශරත් අපට පෙන්වා ඒවා පාවිච්චි කරන අන්දම ගැනද අපට සුලූ විස්තරයක් කෙළේය. නාට්‍ය විලාස කිහිපයක් දක්වන ලෙස අපි චිත්‍රසේනට ආරාධනය කෙළෙමු. එයට එකඟවූ ඔහු දෝතියකින්ද පාද ජාලා පා වළලු ආදියෙන්ද සැරසී විත් ශරන්ගේ බෙර වාදනය අනුව පා තබමින් මනිපුර සම්ප්‍රදාය අනුව මනහර නැටුමක් ද ඊට පසු උඩරට සම්ප්‍රදාය අනුව නැටුමක් ද නැටුවේය. අපි එය ප්‍රීතියෙන් ප්‍රමුදිතව නැරඹීමු.
- රෝෂන් අරා විසිනි -