Sandika Madushan படி Blog பதிவு

உலகிலுள்ள யாராவது

1946/05/05 - සිළුමිණ

සංගීතයෙහි ‘‘මොන්ටිසෝරි’’ ක්‍රමය

මව්ගේ තුරුල්ලෙන් වෙන්වී 'අ' යන්න ඉගෙනීම සඳහා පාසලට එන ළදරුවා පිට බැරි බර පටවා වේවැලේ උදව්වෙන් ඉගැන්වූ කාලයෙක් ද විය. බිත්තිය දිගේ බඩගා වහලට නගින්නට කීම වැනි බැරි දේවල් දිනෙන් දිනම ළදරු වන් පිට පැටවීම නිසා ළදරුවනට පාසල තිත්ත විය. එකල බොහෝ ළදරුවනට පාසැල පෝරකයක් විය. ඒ නිසා ඔව්හු කට්ටි පනින්නට ද පටන් ගත්හ.

'මොන්ටිසෝරි ' ක්‍රමය යයි ළදරුවනට ඉගැන්වීමේ ක්‍රමයක් මෑතක දී පහළ විය. ඒ නිසා අද ළදරුවෝ ගෙදරට වඩා පාසලට ප්‍රිය කරති. ඉගෙන ගන්නා බව නොදැනම ඔව්හු ඉගෙනීම ලබති. අත හැඩ ගසා ගනිති. කට හැඩ ගසා ගනිති. අන් සෑම ඉන්ද්‍රියයක්ම හැඩ ගසා ගනිති. වෙහෙස නොවිඳිති. උනන්දුව හා ප්‍රබොධය දිනෙන් දිනම ඔවුන් තුළ වැඩෙන බව කාටත් පෙනී යයි.

දැනට අවුරුදු ස්වල්පයකට පෙර අපේ රටේ අද පවතිනවාට වඩා වෙනස් ක්‍රමයක උනන්දුවක් සංගීතය සම්බන්ධයෙන් පැවතිණ. ඔරුකාරයා අත හබල මෙන් ළපැටි සංගීතකාරයා අත වයලීනය දකින්නට ලැබිණ. එකල තූර්ය භාණ්ඩ වෙළඳශාලාවලටද හොඳ ග්‍රහයෙකුගේ සෙවණ වැටිණ. සෙනසුරාදා දිනවල නගර බදව, වයලින්කාරයන්ගේ පෙර හැර විශෙෂ දර්ශනයෙක් විය. එහෙත් අද කොයිද ඒ?

දහටගත් දේ පන්සියයට තබා දෙසිය පනහටවත් දෙන්නට බැරි වූ තත්වයට ඇතැම් ළපටි සංගීතකාරයන් වැටුණාහ. කෙනෙක් රුපියල් පන්සියයකට ගත් වයලිනය තුන් මසකින් පසු රුපියල් විස්සකට විකුණා දැමූහ. අනිකකුගේ වයලිනය ඔහුගේ ළදරු පුතාට බෝනික්කෙක් විය. අන් සමහරක් අද වනතුරුත් මුළු මුළුවල පුස් කති. මී පැණි බීමට දිව දික් කරන්නාක් මෙන් ළපැටි සංගීතකාරයා ඒ කලාව ඉගෙනීමට ඉදිරිපත් විය. එහෙත් ඊට ඇති ඇල්ම දිනෙන් දිනම අඩු වී ගොස් අන්තිමේ දී ඔහුට සංගීතය කදුරු මෙන් තිත්ත විය. කිමෙක්ද මීට හේතුව?

සංගීතයෙහි 'අ' යන්න වත් නොදන්නා තැනැත්තා අතට 'හා පුරා' කියා වයලිනයක් දීම, පහළ බාලාංශයට ඇතුළත් කර ගත් ළදරුවා අතට ලිවීම සඳහා උල්පත් පෑනක් දීම වැන්නකි. සංගීතයෙහි 'අ' යන්න ඉගෙනීමට අතගසන්නා බාලාංශ පංතියෙහි ළදරුවකු සේ සැළකිය යුතු ය. වයලීනය, තූර්ය භාණ්ඩ අතුරෙන් ඉගෙනීමට ඉතා අමාරු එකකි. එක්වරම වයලිනයට අත ගැසුවොත් ඔහුට සංගීතය තිත්ත වීම පුදුමයක් නොවේ.

සංගීතය යනු කිමෙක් දැයි හරි හැටි දන්නා ගුරුවරයා තමාගේ ශිෂ්‍යයාට මුල් අවදියේ දී තූර්යය භාණ්ඩයකට අත ගැසීමට කිසි විටෙක ඉඩ නොදෙයි. සංගීතය කණ පුහුණුව පිටම රඳා පවතී. කණ පුහුණුව නැතිව වයලිනය ඉගැන්වීමට ගොස් අද කරන විකාර, ඒ දැක පුරුදු අයට විස්තර කළ යුත්තෙක් නොවේ. ගුරුවරයා ශිෂ්‍යයාට වයලිනයේ ස්වර හඳුන්වා දීමට යොදන උපක්‍රමය කීය ත් වටී. නිදහසේ ඇඟිලි ලිස්සීමට සාදා තිබෙන ඇඟිලි පෝරුව පිට අලවයි කඩදාසි කැබලි මැලියම් ගා කඩදාසි කැබලි තිබෙන තෙක් ශිෂ්‍යයා යන්ත්‍රයක් මෙන් 'කතී වෙණ මියන' ලෙසින් වයලිනය ගහයි. කඩදාසි කැබලි පෙඟී ගැලවී ගිය දා ගහයි ඔහු වයලිනය අල්ලා පොළවේ. පරංගියා කෝට්ටේ ගියාට දෙවෙනි නොවන මේ ඉගැන්වීම් වල වැරදි අද වනතුරු ද ඒ ගුරුවරුනට නොපෙනී ගියේ සංගීතය ඉගෙනීමට ඉදිරිපත් වන්නගේ කුමන පාපයකටද?

අපට උත්පත්තියෙන් ම ලැබී තිබෙන තුර්ය භාණ්ඩයෙක් අප ළඟ තිබේ. උපන්දා සිට අපි ඒ වාදනය කරමු. ඒ සඳහා අමුතු උත්සාහයක්ද නොගනිමු. දත් දෙයින් නොදත් දේට යා යුතු පරිදි ඒ අත්තිවාරම් කොට ගැනීමය. සංගීතය ඉගෙනීමට ඇති පහසු ම මඟ හෙවත් 'මොන්ටිසෝරි ක්‍රමය'. ඒ ක්‍රමයෙන් ඉගෙනීම ලබන්නෝ සවි ඇති අත්තිවාරමක් ලබති. ඉක්මනට ඉගෙනීම ද ලබති. කිමෙක්ද මේ තුර්යය භාණ්ඩය? 'උගුර' ය. සංගීතයෙහි හෝඩිය වූ ස,රි,ග,ම,ප,ධ,නී යන ස්වරයන් උගුර වාදනය කොට හෙවත් ගායනයෙන් ඉගෙන හොඳාකාර කණ පුහුණුකරගත් පසු වයලිනයෙහි කඩදාසි ඇලවීමට වුවමනා නොකරයි. එහි ස්වරයන් ඉබේට ම ලැබෙයි.


- සුනිල් ශාන්ත විසිනි -

மாற்றப்பட்டது: திங்கள், 22 டிசம்பர் 2025, 7:02 PM
சீட்டுகள்: