Sandika Madushan படி Blog பதிவு

உலகிலுள்ள யாராவது
Sandika Madushan
Sandika Madushan - ஞாயிறு, 21 டிசம்பர் 2025, 5:56 PM

1941 දෙසැම්බර්  28 - සිළුමිණ

ලක්දිව හින්දුස්ථානි සංගීතය

අපේ දුර්වලකම්වලින් ස්වල්පයක්

මිනිසා ගැයීමට පුරුදුව සිටියි. හේ ගයයි. ඉදිරියටත් එසේම වෙයි. කාලය අනුව ඔහුගේ ක්‍රමය වෙනස්විය හැක. වචන වෙනස් වියහැක. රාගය වෙනස්විය හැක.  නමුත් ඔහු ගයයි. සංගීතයක ආරංචියක් ඇසූ පමණින්, සිඟන්නන් රැළක් වැටි වැටී හැපි හැපී දාන පළක් දෙසට හති දමමින් දුවන්නාක්මෙන් මනුෂ්‍යයා ඒ දෙසට දුවයයි. ඒ එසේම විය යුතුය. අප සාගින්නෙන් නොව ඊටත් වඩා විශාල ගින්නකිනි පෙළෙන්නේ. නැතහොත් අප අවට මෙතරම් සංගීතය ඇතිවන්නට හේතුව කිමෙක්ද? සිනමා සංගීතය ගුවන් විදුලි සංගීතය, ශබ්ද වාහිනි සංගීතය, පාඨශාලා සංගීතය, විශ්ව විද්‍යාලයේ සංගීතය, මන්දිරයේ සංගීතය, තේ පැන් සැළෙත් සංගීතය, බස් නැවතුම්පොළෙහි ද සංගීතය, මග දෙපසත් සංගීතය, දියෙත් ගොඩත් අහසෙත් සංගීතය, දස දෙසම සංගීතය !  සංගීතය !! සංගීතය!!! මනුෂ්‍යයා සංගීතයෙන්ම කටයුත්තෙහි නියුක්ත වෙයි. සංගීතයෙනම ඇවිදියි. විශ්‍රාමගනියි. නිදයි. දැන් මඳක් විමසා බලමු මනුෂ්‍යයා මෙබඳු ඇල්මක් දක්වන ඔහුට ඉතාමත් අවශ්‍යවන මෙබඳු සංගීතය මඳක් නගා සිටුවීමට අප කුමක් කර තිබේද කියා.

රට් සංගීත ප්‍රබොධය

පසුගිය ස්වල්ප කාලය තුළ සංගීත තරඟ, සංගීත ප්‍රදර්ශන, නාට්‍ය ආදිය ඉතා සැලකිල්ලෙන් පැවැත්වුණු බව අපට මතකය. එමෙන්ම සංගීත පංතිද හතු පිපෙන්නාක් මෙන් ත්‍රි සිංහලය පුරා පැතිර ගිය බවද නොරහසෙකි.
රවිකිංඤයක් හෝ දැල් රුබාවක් හෝ තබ්ලාවක් හෝ නැති ගුරුවරයකු හෝ ගුරුවරියක සොයා ගැනීම ඉතා අපහසු කටයුත්තෙක් විය. ඇතැම් තැනෙක අර 'කන්දොස්කිරියාවේ' ( සර්පිනාවේ ) 'ගෝට්ටිය ද' තිස් පැයේම අසන්නට ලැබිණ. අදත් ඇසෙයි, ලංකා ගාන්ධර්ව සභාව මඟින් පෙරදිග සංගීතය නඟා සිට වීමට ඇරඹුනු ව්‍යාපාරය අද වනතුරු ද ඉතා වැදගත් තත්වයෙක පැවතෙන බව නොරහසෙකි.සංගීතාචාර්යය ඇම්.ජි. පෙරේරා මහතා තමාගේ විශාරද දැනීම නිර්ලෝභීව ශිෂ්‍යයනට දීම නිසා පෙරදිග සංගීතය පිළිබඳව සෑහෙන අවබෝධයක් ගුරු පක්ෂය අතර ඇති බව පෙනෙයි. මග්ගොණ අභ්‍යාස විද්‍යාලයෙහි සංගීතය උගන් වන සමරපාල මහතා ද ශාස්ත්‍රය අතින් හොඳ අවබෝධයක් ඇත්තකු බව දනිමු. මෙබඳු සංගීතාචාර්යයවරයන් නිසා අද සංගීතය පිළිබඳව හොඳ අවබෝධයක් පක්ෂයන් අතර ඇතිවන අතරම මාස ගණනකින් සංගීත ඥානය ලැබූ ස්වර, ඥානය, තාල ඥානය, රාග ඥානය, පිළිබඳව කිසිත් හැඟීමක් නැති සංගීතකරුවන් නිසා ඇතැම් පක්ෂයක් නොමඟ ගොස් තිබෙන බව දැකීම කණගාටුවෙකි. හුදෙක් උදර පොෂණය තකා ශබ්ද වාහිනි තැටියෙක වූ ගීයක් හෝ සිනමා සින්දුවක් හෝ බයිලාවක් හෝ වාදනයට උගැන් වීම ඔවුන්ගේ පංතිවල වැඩ සීමාවය. මෙබඳු ආචාර්යවරයන් අද ගමකින් දුසිම් ගණනින් එකතු කර ගත හැකි බව නොරහසකි.

මෙය විසිවෙනි ශත වර්ෂයය, ලොකය සෑම දෙයකින්ම දියුණුය. එහෙත් අපගේ දුර්වලකම් බොහෝය. දුර්වලකම් පහසුවෙන් හරිගස්සා ගැනීමට මාර්ගය අතළඟම තිබියදී නිදා සිටීම කවර දුර්වලකමෙක්ද? අද ලංකාවේ, පෙරදිග සංගීතය පිළිබඳව මුද්‍රණය වී ඇති ඉතා අගනා පොත් පංතිය පෙරේරා මහතාගේය. ගීත ශික්ෂකය තෘතීය භාගය වැනි පොතක් අපට තවත් බලාපොරොත්තු විය හැකියයි කිය නොහැකිය. පිටු 450 පමණ වූ මෙම විශාල ග්‍රන්ථය ඇති බවවත් ලාංකිකයෝ දනිත්දැයි නොදනිමු. උගතකුගෙන් උවදෙස් ගැනීමට ඇතැම්හු මැලි වෙත්. වැරදි හෝ නිවැරදි හෝ තමන් දත් දෙයම පමණැයි සිතීම යුතුද?

සංගීතයෙහි සීමාව

මංසන්ධියක විකිණෙන කවි කොළයක යමෙකුට කියවා තේරුම් ගැනීමට පාසැලකට ගොස් හත අටට ඉගෙනීම වුවමනා නැත. ශිෂ්‍යයාට උසස් රස විඳීම සඳහා මඟ පුදාදිමය ඉහළ පංතිවල සාහිත්‍යයෙන් අදහස් කෙරෙන්නෙ. මේ නීතිය සංගීතය සම්බන්ධයෙන්ද මෙසේමය. භාරතීය සංගීතඥයින්ගේ දැනීම බොහෝ විට අවුරුදු තිහක හතළිහක පළපුරුද්දෙන් ලද වුවද ඔවුන්ගේ දැනීම ශාස්ත්‍රයෙහි තත්වය හා සැසඳූ කල ඉතා අල්පබව ඔවුහුම කියත්. එහෙත් බොහෝ ලාංකිකයන්ගේ කල්පනාව මීට හාත්පසින්ම වෙනස්. යමකු අවුරුදු තුනක් හතරක්වත් සංගීතය ඉගෙනීම සඳහා හින්දුස්ථානයෙහි ගත කළහොත් ඔවුන්ගේ ප්‍රශ්නය වනුයේ  'ඔතරම්' හැදෑරීමට සංගීතයෙහි කුමක්ද ඇත්තේ' යනුයි. ගීයක් ගැයිමට හෝ වැයීමට හැකි නම් ඒ සංගීතයෙහි සීමාවයයි සමහරකුගේ කල්පනාවය. ඇතැමෙක් සප්ත ස්වරය සංගීත යයි සිතත් නැත ඒ එසේ නොවේ භාට්ඬණ්ඩේ සංගීත විද්‍යාලයෙහි දිනපතා ඉගෙනීම ලබා වුවද සංගීතය පිළිබඳව හැඟීමක් දෙනුයේ අවුරුදු පසකිනි. ඉන්පසු තමන්ගේ උත්සාහයෙන් එය දියුණු කරගත යුතුයි.

ලොකු හානියක්

කිසියම් රාගයකට අයත් ගීයක් ඉගෙනීමට ආශාවක් බොහෝ ලාංකිකයන් අතර දැනට වෙයි.මේ අවස්ථාවෙන්
ප්‍රයෝජන ගැනීමට ඇතැම් පක්ෂයක් අදහස් කළ බව පෙනීයයි. ඒ මෙසේය. ශබ්ද වාහිනි තැටිවල ගීතයන් ප්‍රස්තාර කොට එක එක ගීතයට කිසියම් රාගයක නමක් දී පොතක් වශයෙන් පළකිරීමයි. මේ මුදල් උපයීමේ බලාපොරොත්තුවෙන සිදුවනුයේ ලොකු හානියෙකි. සංගීත රසිකයන් තුළ රාගයන් පිළිබඳව වැරදි හැඟීම හෝ පටලැවිලි සහිත හැඟීමක් හෝ එසේත් නැත්නම් හින්දුස්තානි සංගීතය කිසිම ක්‍රමයකට නීතියකට අනුව නොගිය ශාස්ත්‍රයක්ය යන හැඟීම හෝ ඇතිවනවාට අනුමාන නැත.

පෙරදිග සංගීතයෙහිවිශෙෂත්වය

තවද ලක්දිව දැනට වසංගතයක් මෙන් පවතින සංගීතයෙ. එනම්, කිසියම් ස්වර සමූහයකින් ගොතාගත් ගීතයක් හෝ අපරදිග සංගීතය හා මිශ්‍ර වුවක් හෝ රසකරමින් ගැයීමට පුරුදුව සිටීමයි. පෙරදිග සංගීතයත් අපරදිග සංගීතයත් මිශ්‍ර කිරීම එළ හරකාට මී හරකා ඈඳීම වැන්නෙකි. මන්ද මේ සංගීත ද්විත්වයෙහි ලොකු වෙනසෙකි. පෙරදිග සංගීතයට විශෙෂ වනුයේ රාග (Melody) ක්‍රමයය. නමුත් අපරදිග සංගීතයෙහි ස්වර සම්මිශ්‍රණය (Harmony) ප්‍රධාන ලක්ෂණය වෙයි. පිරිසුදු රාගයෙන් ගායනය කර නා රාගයෙන් නීති අනුගමනය කිරීමට බැඳී සිටියි. එම නීති කඩ කළ හොත් එහි පිරිසුදු රාගයෙක් නොවෙයි. ඉතා සුළු වෙනසෙන් පවා රාගය වෙනස් වෙයි පූර්ව රාගය ගායනයේදී ස රි ග ම / ප ධ නි ස යන ස්වරයන් භාවිත වෙයි. එහෙත් ශුද්ධ මධ්‍යමයද ක්‍රමානුකූලව යෙදීම අමතක කළහොත් අන් රාගයක් එනම් පුරියාධනාශ්‍රී රාගය ප්‍රකාශ විය හැකිය එසේන් නැතහොත් එබඳු අන් රාගයක් ප්‍රකාශ විය හැක. ශුද්ධ මධ්‍යමය (කෝමළ 'ම') භාවිත වුවද පූර්වි රාගයේදී එය භාවිත කළ යුත්තේ කෙසේ දැයි හරිහැටි නොදැන අන් ක්‍රමයකට යෙදුවහොත් එයින් ද අන් රාගයක් එනම් පරශු රාගය හෝ අන් රාගයක් ප්‍රකාශ විය හැක එසේම භූපාලි රාගය සඳහා ගැනෙනුයේ ස රි ග ප ධ ස යන ස්වරය දේශ්කාර් රාගයටද ගැනෙනුයේ මේ ස්වරමය. මේ රාග දෙකේ වෙනස ඇතිවනුයේ වාදී ස්වර වලිනි. භූපාලි රාගයෙහි වාදි ස්වරය ගාන්ධාරය ද, දේශ්කාර්හි ධෛවතයට වෙයි. තවද, සප්තකයකට ප්‍රකෘති විකෘති ස්වර දොළොසෙකි. අපරදිග සංගීතය මේ ස්වර දොළොස අනුගමනය කිරීමට බැඳී තිබෙන නමුත් හින්දුස්ථානි සංගීතය එයට බැඳී නැත. ඇතැම් රාගයක් ගායනයේදී මේ ස්වර දොළොසටම අයත් නොවූ ස්වරයක් ගායනය කිරීමට ගායකයා බැඳි සිටියි. උදාහරණයක් වශයෙන් ශ්‍රී රාගය ගායනයේදී ශුද්ධ ගානධාරය හෝ කෝමළ ගාන්ධාරය හෝ නොව මේ ස්වර දෙක අතර ගාන්ධාරයක් ගැනීම ඒ රාගයේ නීතියය. සර්පිනාවෙහි මේ ස්වර නැත. ඒ භාණ්ඩය පෙරදිග සංගීතයට නොගැලපෙන එක් ප්‍රධාන හේතුවෙකි මේ. හින්දුස්ථානි සංගීතයෙහි ප්‍රධාන වනුයේ සාහිත්‍ය රසය නොව ස්වර රසයයි. එබැවිනි රාග ආලාපනය මෙහි ප්‍රධාන ලක්ෂණය වනුයේ ගායකයා තමාගේ දක්ෂකම් සියල්ල ප්‍රකාශ කරන්නේ ස්වරයන් මගිනි.

තොටිල්ලෙහි නැලවෙන තාලය

ගීතය තාලයක් ආශ්‍රය කෙරෙයි. ගායනය කරණ අතර තාලය හරියාකාර අනුගමනය කිරීම ඉතා අපහසු කරුණෙකි. අභ්‍යාසයෙන්ම ඒ පිළිබඳ පළපුරුද්ද ඇති කරගත යුතුය. ලාංකිකයන් බෝහෝ විට ආශ්‍රය කෙරෙනුයේ තාල දෙකෙකි. එනම් කහර්බා (ධ යි න ති, න ක යිං -) හා දාදරා (ධා ධී නා, නා තී නා) ය. තාලය පිළිබඳ පුහුණුවක් නැත්තකුට වුවද මේ තාලද්වය පහසුවෙන් අනුගමනය කළ හැක තොටිල්ලෙහි නැලවෙන බිළිඳා පිණවීමට මවගේ දෑත තැලෙනුයේද මේ තාල වලටය. ඉතින් අපේ තාලය සංගීතයත් සමඟ මේ තොටිල්ලෙන් ස්වල්පයක් දුරට පා නගනුයේ කවරදාද සදාකාලයටම තොල්ලෙහි හිඳීම ස්වභාව ධර්මයෙක්ද? මුණින් දැමීමත් දණ බඩ ගෑමත් අල්ලා සිටීමත් ක්‍රමයෙන් පසුකොට ඇවිදීමට උත්සාහ කරමු.

ස්වර ඥානය, තාල ඥානය, රාග ඥානය නැති තැන සංගීතයක් නැත. එබැවින් එය පුහුණු කළ යුතුය. පළමුව ස්වරඥානයද තාල ඥානයද හොඳින් පුහුණු කළ යුතුය ඒ පුහුණු කළ යුතු ක්‍රමය අපගේ
මින් පෙර ලිපියෙන් ප්‍රකාශ විය.

ලක්නව්හි භාට්ඛණ්ඩේ සංගීත විද්‍යාලයෙහි
සුනිල් ශාන්ත විසිනි

சீட்டுகள்: