Sandika Madushan
Sandika Madushan படி Blog பதிவு
සමාජය හා කලාකාරයා
ස්වකීය ජාතියේ ජාතික අලසකම්, දුර්වලකම් මගහරවා ජාතියේ නවෝදය සෙසුලෝකයා අතරෙහි උච්චස්ථානයක රැඳවිය හැකි ගත් කරුවන් කවියන් ආදී කලාව උදෙසාම ජාතිය දිනූ කලාකාමීහු ඇතිවීම ඒ ජාතියේ වාසනාවකි.
භාරතයේ - කාලිදාස, වාල්මිකී, එංගලන්තයේ ෂේක්ස්පියර්, මිල්ටන් ග්‍රීසියේ හෝමර් රුසියාවේ ටොල්ස්ටෝයි ආදීහු ජාතියේ සභ්‍යත්වයත් සංස්කෘතියත් නගා සිටුවීම උදෙසා උපන් අය වූහ. ඔවුන්ගේ කෘතීන් දැනුදු ලෝකසාහිත්‍ය නමැති නිලම්බරයෙහි පුන් සඳ සේ බැබළෙයි. ඒ නිසාම ඒ ඒ ජාතීන්ද ඒ කලා කරුවන්ගේ නාමයට පින් සිදුවන්නට අන්‍ය ලෝකයා අතරෙහි ජනප්‍රියත්වයේ හිනි පෙත්තට නැග අවසානය.
සිංහලයෙහි ද ලෝකයාගෙන් පුද පූජා ලැබිය හැකි උසස් කලාකරුවන් බිහිනොවූයේ නොවේ නමුත් ඔවුන් සෙසු ලෝකයා අතරෙහි කැපී නොපෙනෙන්නට වූයේ ජාතියේ මහ පවකිනි. එය කලා කරුවන් නිසා ඇති වූ පවක් නොවේ. නූතන සමාජයේ මුල්බැසගෙන තිබෙන ආත්මාර්ථකාමී අදහස් නිසා ඇතැම් පුද්ගලයන් නිසා ඇති වූ පවක්ය.
කලාකරුවා දුප්පතෙක් බව කවුරුත් පිළිගත් සත්‍යයෙකි. ඔහු ධනයෙන් දුප්පත්බව සැබෑය. නමුත් ධනයට වඩා වටිනා දෙයක් ඔහුගෙන් තම ජාතිය උදෙසා හිමි විය යුතුය. ජාතියේ නාමයෙන් කළ හැකි උසස් ම සේවය කිරීමට අවංක කලාකරුවා කවදත් පසුබට නොවනු ඇත. නමුත් ඔහු දිරි ගැන්වීමට අපේ සමාජය මැලි බවක් දක්වන බව පෙනේ.ඉතින් ජාතික කලා උන්නතියක් ගැන කවර කතාද?
කලකිරීම
වත්මන් සමාජයේ සංගීතයඥයෝ සංගීතය අතහැර කරවල වෙළඳාමට බැසීමට සිත යොමු කරති. කිවියන් කවියට ආයුබෝවන් කියා වෙන වැඩපල ගැන සිත මෙනෙහි කරති. මීට වගකිව යුත්තෝ කවරහුද. මොවුන්ගේ කෘතීන් වල රස විඳ ආශ්වාදයක් ලැබූ නූතන සමාජය මය.
තම හදවතෙහි නැගුණ සොබා සුන්දරත්වයේ මහඟු දායාදයක් යැයි කිය හැකි හරබර අදහස් කලාවේ නාමයෙන් කෘතීන් බවට පත් කළ කලාකරුවන් වැලිසර, රාගම ආදී ආරොග්‍ය ශාලාවල උණු කඳුලු පෙරද්දී ඔවුනගේ කෘතීන් වල රස වින්දනය ලැබූ කියවන්නන් තවමත් එහි රස විඳිති. ඔවුනගේ කෘතීන් ප්‍රකාශයට පත් කළ ප්‍රකාශකයන් එයින් උපයාගත් ලක්ෂ ගණන් මුදල් බැංකු වල තැන්පත් කර ධනවත් බවේ හිනි පෙත්තට නගිද්දී අසරණ කලාකරුවාට හිමිවී ඇත්තේ ජාතියේ නාමයෙන් පණ නළ සඟවාගෙන නිහඬ වීමටය.
කළ යුතු දෙය
අනේ! කලාකරුවාට ජාතියෙන් ලැබෙන සැළකිලි! මියගිය කලාකරුවන් සිහි කිරීම සඳහා ඉඳහිට අනුස්මරණ රැස්වීම් තබා ගුණ ගයා කරන හර බර දෙසුම් වලින් ජාතියට එතරම් සෙතක් වේයැයි සැක සහිතය. ඔවුනට කරන එකම පුද සත්කාරය නම් ඔවුනගෙන් ජාතියට ඉතිරිවී තිබෙන කෘතීන් අමරණියත්වයට පත් කිරීමය. එය ආරක්ෂා කිරීමය. එය සමගම කළ යුත්තේ ජීවතුන් අතර සිටින කලාකරුවන්ගෙන් ජාතික කලාවේ නාමයෙන්වත් ඔවුනගේ කෘතීන් බිහි කිරීමට ඔවුනගෙන් කලාවේ ජීවනය සඳහා ගත හැකි උසස්ම සේවයක් ලබා ගැනීමට ඔවුන්ව දිරි ගැන්වීම බව අපේ හැඟුමයි.
මේ ගැන මදක් කල්පනා කළ යුත්තේ රජය හෝ ඊනියා ප්‍රකාශකයන් නොවේ. ඔවුනගේ කෘතීන් වලින් රසාස්වාදයක් ලබන කියවන්නන්මය. ජාතික කලාවන් ගැන මහ හඩින් කතා කරන උසස් අයගෙන් මෙයට ප්‍රතිකර්මයක් බලාපොරොත්තුවීම මූඩ ක්‍රියාවකි.
කවියන්, සංගීතඥයන්,චිත්‍රඥයන්, නවකතා කරුවන්වැනි කලාකාමීහු ඇත්තේ සිංහලයේ පමණක් නොවේ. නමුත් ලෝකයේ අන්‍ය ජාතීන් දෙස බලනවිට අපේ කලාකරුවා වැටී සිටින අඳුරු පාතාලය කුමක්දැයි වැටහේ. මෙයට වගකිව යුත්තේ කවරහුද? සමාජයමය.
“ජාතියේ ජීවය” කලාකරුවාගේ හදවතෙහි රැඳී ඇතැයි කීම මුසාවක් නොවේ. ඉතින් කලාකරුවා මුලු ගැන්නුවොත් ජාතික ජීවයත් ඔහුත් සමග මුලුගැන්වෙනු ඇත. ජාතියේ පුනර්ජීවයක් බලනු කැමැත්තෝ කලාකරුවා නගාසිටුවීමට උත්සාහ දැරිය යුත්තේ එහෙයිනි.
එවිට ඔහුත් සමගම ජාතික කලාවේ ජීවනයක් බලාපොරොත්තු විය හැක.එසේ නැතහොත් වැඩිකල්යන්ට මත්තෙන් සිංහලය එකම කලා කාන්තාරයක් බවට පත්වන දිනය වඩා ඈත නොවනු ඇත.
- ජයතිලක පෙරේරා විසිනි -